කථානායකට එරෙහි විශ්වාසභංගය දෝෂ සහිතයි
කථානායක වෛද්ය ජගත් වික්රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇති බැවින්, එය සංශෝධනය කර යළි ඉදිරිපත් කළ යුතු බව ඊයේ (23) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.
මෙම කාරක සභා රැස්වීම කථානායක වෛද්ය ජගත් වික්රමරත්නගේ ප්රධානත්වයෙන් සභානායක ඇමති බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස, විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වා ඇත.
මීට අමතරව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඇමති හර්ෂණ නානායක්කාර, නියෝජ්ය ඇමති සුනිල් වටගල, ඇමති අනුර කරුණාතිලක සහ ඇමති සරෝජා පෝල්රාජ්ද, විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, රවී කරුණානායක සහ ශානක්ය රාසමානික්කම්ද මේ සඳහා එක්ව සිට තිබේ.
අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය විසින් මතු කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි යෝජනාව සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමට විපක්ෂයට සිදුව ඇත.
සංශෝධිත විශ්වාසභංග යෝජනාව යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එය එළැඹෙන නොවැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව සභානායක ඇමති බිමල් රත්නායක මෙහිදී දැනුම් දී තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

