මැදපෙරදිග අර්බුද විසඳන්න අමෙරිකාව මැදිහත් විය යුතු නෑ
ඉරාන ජනපති රුසියානු ජනපතිට කියයි
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුද සහ ගැටලු විසඳා ගැනීමට එම කලාපයේ රටවලට හැකියාව ඇති බැවින් අමෙරිකාවේ මැදිහත්වීමක් හෝ රඳා පැවැත්මක් අවශ්ය නොවන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්රකාශ කර තිබේ. රුසියාවේ මොස්කව් අගනුවර පැවති ගෑස් අපනයන රටවල අටවැනි සංසදයට සහභාගි වූ ඉරාන ජනාධිපතිවරයා මේ ප්රකාශය සිදු කර ඇත්තේ එම සමුළුව අතරතුර රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් හමුවූ අවස්ථාවේදී බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
අමෙරිකාවේ ඒකපාර්ශ්වික ක්රියාමාර්ග සහ සම්බාධක හමුවේ රටවල් රැසක බහුපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අවශ්යතාව ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ. රුසියාව මෙන්ම ඉරානය ද අමෙරිකානු සම්බාධකවලට ලක්වී සිටින අතර, ඉරාන ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ ආර්ථික, කාර්මික, ආරක්ෂක සහ හමුදාමය ක්ෂේත්ර ඔස්සේ රුසියාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සිය අපේක්ෂාව බවය.
ඉරානයට බලපා ඇති ජාත්යන්තර දේශපාලනික හා ආර්ථික අර්බුද හමුවේ රුසියාව දක්වන සහයෝගයට ව්ලැදිමිර් පුටින්ට ඉරාන ජනපති සිය කෘතඥතාව ද පළ කර තිබේ.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ මාස 10 ඇතුළත දෙරට අතර වෙළෙඳාම 10%කින් වර්ධනය වී ඇති අතර, රුසියාවේ රජයට අයත් රොසැටම් සමාගම ඉරානයේ බුෂෙහාර් න්යෂ්ටික බලාගාරයේ ඉදි කිරීම් කටයුතු සාර්ථකව සිදු කරන බවත්, දෙරට අතර සෙසු ඒකාබද්ධ ව්යාපෘති ගිවිසුම් ද අකුරටම ඉටු කරන බවත් එහිදී රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
අමෙරිකාවේ බලපෑම් සහ ආක්රමණශීලි ප්රතිපත්ති හමුවේ දෙරටේ රාජ්ය නායකයන්ගේ හමුව ජාත්යන්තරයේ අවධානයට ලක්වී ඇති අතර, ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්රකාශ කර ඇත්තේ පෙර නොවූ විරූ අයුරින් රුසියාව සහ ඉරානය සමීපව කටයුතු කරමින් සිටින බවය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

