Latestදේශීය

වසරකට ළමා අපයෝජන පැමිණිලි 10,000 ඉක්මවයි

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමයා සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේදී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර මෙම අවස්ථාවේ එය රටට හඳුන්වාදීමක් සිදුකරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වගකීම් සහගත ළමා හිතකාමී වාර්තාකරණයක් සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වාදීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

රටක් ජාතියක් ළමයාට දෙන ආරක්ෂාව සහ ප්‍රමුඛතාවය මත රටේ බොහෝ දේවල් තීරණය වන බවද මෙය ලාංකිකයන් පමණක් නොව ගෝලීයවද සියලුදෙනා පිළිගන්නා කාරණාවක් බව අවධාරණය කළාය.

 මෙම මාර්ගෝපදේශය සැකසීමේ කර්තව්‍යය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අද ඊයේ ඇරඹූවක් නොවන බව පැවසූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය එය වසර 14ක උත්සාහයක අවසන් ප්‍රතිඵලය බවද සදහන් කළාය.

2012 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපත් කළ ජනමාධ්‍යෙව්දීන් සදහා වන මාර්ගෝපදේශ අත්පොතට එහා ගිය අවශ්‍යතාවයක් ළමයින් සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේදී පැනනැගුණු බව සිහිපත් කළ ශානිකා මලල්ගොඩ මහත්මිය එම අවශ්‍යතාවය මත මෙම මාර්ගෝපදේශය සකස් කළ බවද වැඩිදුරටත් පැවසුවාය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ළමයා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සදහා සැකසූ මෙම මාර්ගෝපදේශ සංග්‍රහය විශ්ව විද්‍යාල අචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් 17 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් මගින් සම්පාදනය කළ බවද අවධාරණය කළාය.

පොදු සදාචාරාත්මක මූලධර්ම, අපයෝජන සහ අපචාර අපරාධ වාර්තාකරණය, ළමා සියදිවි නසාගැනීම්, ළමුන් විවිධ වැඩසටහන් සදහා යොදා ගැනීම යන ප්‍රධාන කරුණු 04 මූලික කරගනිමින් මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සකස කළ බවද වැඩිදුරටත් පැවසුවාය.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි වර්ෂයකට 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වන බවද, අද වන විට ළමයින් ලිංගික අපයෝජන වලට පත්කිරීම්, කෘෘරත්වයට පත්කිරීම් ආදී කරුණු වලට අමතරව අද වන විට සමාජයේ අලුත් කාරණා ඉදිරියට පැමිණ ඇතැයිද සයිබර් අවකාශය තුළ ළමයින් අනාරක්ෂිත වීම, යොවුන් ගැබ් ගැනීම්, විවිධ මත්ද්‍රව්‍ය පරිහරණය තුළ ළමයින් අනාරක්ෂිත බවට පත්වීම පුරවැසි මාධ්‍යකරණයේදී ඇතැම්විට නොදැනුවත්ව ළමයින්ට සිදුවන බලපෑම් ආදී කාරණා ආදිය පෙන්වා දුන්නාය.

මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වගකීම් සහගත ළමා හිතකාමී වාර්තාකරණයක් සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් එළිදැක්වීමට කටයුතු කළ බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය සඳහන් කළාය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *