පාඨලී චම්පික වෙනුවට රියැදුරුගේ නම යොදා පැමිණිල්ල ලියා ගත්තා – පොලිස් නිළධාරියා කියයි
හිටපු ඇමැති පාඨලී චම්පික රණවක රාජගිරියේ රිය අනතුර කළ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශ කළ ද, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ උපදෙස් අනුව පැමිණිලි පොතේ ඔහුගේ නම වෙනුවට රියැදුරාගේ නම සඳහන් කරමින් පැමිණිල්ල සටහන් කළ බව වැලිකඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් සුරේශ් කුමාර යන අය කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (10) ප්‍රකාශ කළේය.
රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ පැමිණිල්ලේ 7 වැනි සාක්ෂිකරු වන කොස්තාපල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, රිය අනතුර පොලිස් පොතේ ලිවීමේදී හිටපු ඇමැතිවරයාගේ නම සඳහන් නොකරන ලෙස ලැබුණු නියෝග අනුව මෙම පියවර ගත් බවයි.
හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට අමතරව අනතුර සිදුවූ කාලයේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ එවකට අමාත්‍යාංශ රියැදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර යන අය මෙහි සෙසු විත්තිකරුවෝ වෙති.
2016 පෙබරවාරි මස 28දා රාජගිරිය ජනාධිපති විදුහල ආසන්නයේදී WP KT-7545 දරන සුඛෝපභෝගී ජීප් රථය පදවා සන්දීප් සම්පත් නමැති තරුණයා අනතුරට පත් කිරීම, ඒ පිළිබඳ තොරතුරු වසන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ඇමැතිවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත. ඒ සඳහා අනුබල දීම සහ කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා යටතේ සෙසු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.
මෙම නඩුව ඊයේ (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ වැලිකඩ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් සුරේශ් කුමාර (13281) යන අය දිවුරුම් පිට සාක්ෂි දෙන ලදි.
2016 පෙබරවාරි 28දා රාත්‍රී 7.00 සිට තමා වැලිකඩ මංසන්ධියේ සේවය කළ බවත්, වැලිකඩ පොලිසියේ නිලධාරියකු තමා අමතා ජනාධිපති විදුහල අසල රිය අනතුරක් සිදුව ඇති බව දැන්වූ බව කියා සිටියේය.
අනතුරු සිදුවූ ස්ථානයට තමා යන විට විදුහල ඉදිරිපිට හතරමංහන්දියේ සරණ පාරට හැරෙන තැන මාවතේ කෙළවරේ සුදු ඉර ආසන්නයේ යතුරුපැදියක් වැටී තිබුණු බව පැවසීය. ඒ වන විට තවත් පොලිස් නිලධාරියකු එතැනට පැමිණි සිටි බවත් දෙදෙනාම එකතුව යතුරුපැදිය පසෙකට කර අනෙකුත් වාහනවලට ඉඩ ලබාදුන් බව පැවසීය.
අනතුරින් පසුව වැලිකඩ පොලිසියෙන් ලැබුණු දැනුම්දීමකට අනුව තමා බොරැල්ල පොලිසිය වෙත ගිය බවත්, එතැනට යන විට අනතුර කළ බව කියන මෝටර් රථය රියැදුරකු විසින් ගෙනැවිත් තිබූ බවත් සාක්ෂිකරු පැවසීය.
අනතුර සිදුවූ බලප්‍රදේශය වැලිකඩ බැවින්, ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අදාළ රථය සහ රියැදුරු සිය භාරයට ගෙන නැවත වැලිකඩ පොලීසියට පැමිණි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වැලිකඩ පොලීසියට පැමිණි පසු සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනකු වන සිද්ධික් මොහොමඩ් සුෆායිස් සහ කැකුලන්දර මුදියන්සේලාගේ ගයාශාන් විනුර යන අය පැමිණිල්ලක් සටහන් කිරීමට පැමිණ සිටි බව කොස්තාපල්වරයා සඳහන් කළේය.
එම ඇසින් දුටු සාක්ෂිකරුවන් අනතුර කළේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක බව ප්‍රකාශ කළ නමුත්, බොරැල්ල පොලීසිය වෙනත් රියැදුරකු ඉදිරිපත් කර තිබීම නිසා පැමිණිල්ල සටහන් කරගත යුතු ආකාරය ගැන ප්‍රහේලිකාවක් මතුවූ බව පැවසීය.
එහිදී රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන පොලිස් කොස්තාපල් ලක්මාල් (89457) විසින් රියැදුරාගේ නම සටහන් කරගන්නා ලෙස තමාට දැනුම්දුන් බවත්, තමා ඊට විරුද්ධ වූ විට ඔහු කිහිපවරක්ම බලපෑම් කළ බවත් සාක්ෂිකරු හෙළි කළේය.
තමා ආධුනික පොලිස් නිලධාරියකු වූ බැවින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ උපදෙස් අනුව හිටපු ඇමැතිවරයාගේ නම වෙනුවට රියැදුරාගේ නම යොදා පැමිණිල්ල සටහන් කරගත් බව කොස්තාපල්වරයා පැවසීය.
ඉන්පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ උපදෙස් අනුව ලියාගත් සටහන් කියවීමට නොදී සාක්ෂිකරුවන්ගෙන් අත්සන් ලබාගත් බවද ඔහු මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
පොලිස් කොස්තාපල්වරයාගේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු විත්තියේ හරස් ප්‍රශ්න සඳහා අවස්ථාව හිමි විය. එහිදී පළමු චුදිත හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා අනෙකුත් විත්තිකරුවන්ගේ හරස් ප්‍රශ්න විමසීමෙන් පසු තම හරස් ප්‍රශ්න විමසීමට කල් ඉල්ලා සිටියේය.
ඉන්පසු අනෙකුත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා සාක්ෂිකරුගේ සාක්ෂිය තමන්ට නිසි ලෙස නොඇසුණු බැවින් ලඝු ලේඛිකාවගේ කාර්ය සටහන් ලබාගැනීමෙන් පසුව හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටියේය. සාධාරණ නඩු විභාගයක් සඳහා පැමිණිලි පාර්ශ්වය ද එම ඉල්ලීමට එකඟතාව පළ කිරීම නිසා නඩුවේ හරස් ප්‍රශ්න විමසීම දෙසැම්බර් 8 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන නිහාල් ජයමාන්න, අනිල් ද සිල්වා සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරු පෙනී සිටියහ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

