JCT තෙල් ටැංකියක කාන්දුවකින් මුහුදට තෙල් එක්වෙයි
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි JCT අංක 108 දරන තෙල් ටැංකියකින් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් නාගරික ජලාපවහන ඇළ මාර්ගය සහ මුතුවැල්ල වෙරළ තීරය දූෂණයට ලක්ව තිබේ.
2026 නොවැම්බර් 21 වැනිදා පෙරවරුවේ ආරම්භ වී ඇති මෙම කාන්දුව හේතුවෙන් ටැංකියේ ගබඩා කර තිබූ සමුද්‍රීය ගෑස් තෙල් (Marine Gas Oil – MGO) ජලාපවහන පද්ධතියට එක්වී, එමඟින් මුතුවැල්ල වෙරළ තීරය ඔස්සේ මුහුදට ගලා ගොස් ඇත.
ටොන් 1,000ක පමණ ගබඩා ධාරිතාවක් සහිත අදාළ ටැංකිය සිද්ධිය සිදුවන අවස්ථාවේ සම්පූර්ණ ධාරිතාවයෙන් පුරවා තිබූ බව වාර්තා වේ. හානි වූ හෝ සිදුරක් ඇති වූ ජලය බැහැර කිරීමේ කපාටයක් (Drain Valve) හරහා මෙම තෙල් කාන්දුව සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව නොවැම්බර් 21 වැනිදා පෙරවරු 9.30ට පමණ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) දැනුවත් කර ඇති අතර, එම අධිකාරියේ නිලධාරීන් කඩිනමින් අදාළ ස්ථානයට පැමිණ තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්‍ය ප්‍රතිචාර ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එදින පෙරවරු 10.30 පමණ වන විට තෙල් කාන්දුව නතර කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ඒ වන විටත් කාන්දු වූ තෙල්වලින් කොටසක් නාගරික ජලාපවහන ඇළ මාර්ගයට එක්වී මුතුවැල්ල වෙරළ තීරය ඔස්සේ මුහුදට ගලා ගොස් තිබිණි.
බී ගේට්ටු නැංගුරම්ලා තැබීමේ ස්ථානය ද ඇතුළුව කිලෝමීටර් තුනකට අධික වෙරළ තීරයක් මෙලෙස තෙල් දූෂණයට ලක්ව තිබේ.
සිද්ධියෙන් අනතුරුව තෙල් පැතිරීම පාලනය කිරීම සහ වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ තාක්ෂණික මඟපෙන්වීම හා සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.
තවදුරටත් තෙල් පැතිරීම වැළැක්වීම සඳහා තෙල් පාලන බාධක (Oil Containment Booms) යොදා ඇති අතර, කාන්දු වූ තෙල් එක්රැස් කිරීම හා ඉවත් කිරීමේ කටයුතු ද ක්‍රියාත්මක වේ.
නොවැම්බර් 22 වැනිදා වන විටත් මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන අතර, පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීම සහ බලපෑමට ලක්වූ වෙරළබඩ පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් අදාළ ආයතන සමඟ එක්ව තෙල් පාලනය කිරීම, ඉවත් කිරීම සහ පරිසර පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට එම අධිකාරිය තවදුරටත් පියවර ගනිමින් සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

