අමෙරිකාවට අවශ්‍ය ලෙස ගිවිසුම් බැහැ – ඉරාන විදෙස් ඇමති
වත්මන් ගැටුම්කාරී වාතාවරණය හෝ පවතින අවහිරතා සමනය කර ගැනීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ඕනෑම ගිවිසුමක් හරහා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කරන ප්‍රහාර යළිත් සිදු නොවන බවට ස්ථිර සහතිකයක් ලබා දිය යුතු බවයි.
අමෙරිකාව සමඟ පවතින යුද ගැටුම් රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් අවසන් කර ගැනීමට තම රට තවමත් බලාපොරොත්තු වන බව ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ඉරාන රාජ්‍ය පුවත්පතක් වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍ය අරග්චි සඳහන් කර ඇත්තේ, මැදිහත්කරුවන් හරහා ටෙහෙරානය සහ වොෂින්ටනය අතර තවදුරටත් පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවයි. “තවදුරටත් යුද්ධයක් ඇති නොවන බවට සහතික වන ආකාරයේ ගිවිසුමක්” ඉරානය අපේක්ෂා කරන බව ද ඔහු එහිදී අවධාරණය කර තිබේ.
සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පෙර වොෂින්ටනය ඒ සම්බන්ධයෙන් අවංකව හා බැරෑරුම්ව කටයුතු කරන බවට සහතිකයක් අවශ්‍ය බව පැවසූ අරාග්චි, දෙපාර්ශ්වය අතර විශ්වාසය ගොඩනැගීමේ පියවරවල ස්වභාවය පිළිබඳව මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා කළ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉරානය ගිවිසුමකට එළඹීමට උත්සාහ කළ ද එය තමන්ට කිසිසේත් පිළිගත නොහැකි මට්ටමේ එකක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මැදපෙරදිග කලාපය අස්ථාවර කරමින්, නාවික ගමනාගමනයට බාධා එල්ල කරමින්, ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ දමමින් සහ කලාපයේ රටවල් රැසක් ඈඳා ගනිමින් ව්‍යාප්ත වී ඇති මෙම ගැටුම අවසන් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක මෙම ප්‍රකාශ නිකුත් වී ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

