දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක්

2020 මහ මැතිවරණය අවසන් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් හිමිකර දෙමිනි. ‍පොදුජන පෙරමුණේ නායකත්වය අපේක්ෂා කළ ජයග්‍රහණය එම පක්ෂයට හිමිකර දීමට බහුතර ජනතාව තීරණය කර තිබුණු අතර එය මෙරට දේශපාලන ඉතිහාසයේ වාර්ථාගත ප්‍රතිඵලයකි. බොහෝ ආසන සහ දිස්ත්‍රික්ක වල 70%කට අධික ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් පොදුජන පෙරමුණ සමස්ත ඡන්ද 6,853,693 ක් ලබා ගනිමින් 59.09%ක ප්‍රතිශතයකට හිමිකම් කියන ලදි. ඒ අනුව ආසන 145ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවිය.

ආසන 54ක් හිමිකර ගනිමින් දෙවන ස්ථානයට පත්වූ සමගි ජන බලවේගය අභිනව පාර්ලිමේන්තු විපක්ෂයේ බහුතරය බවට පත්විය. එක්සත් ජාතික පක්ෂයෙන් ‍කැඩී මැතිවරණයක් සදහා ඉදිරිපත් වූ පළමු අවස්ථාවේම විපක්ෂ නායක ධූරයට මෙන්ම එක්සත් ජාතික පාක්ෂික වැඩි ආකර්ෂණය දිනා ගැනීමට සමගි ජන බලවේගය සමත් වීම විශේෂත්වයකි. ඡන්ද 2,771,984ක් දිනාගත් සමගි ජන බලවේගය 23.90% ප්‍රතිශතයකට හිමිකම් කියන්නට සමත් විය.

ඡන්ද 327,168ක් හිමිකර ගනිමින් ආසන 10ක් දිනා ගැනීමට සමත් වූ ඉලංගෙයි තමිල් අරසු කච්චි (දෙමළ ජාතික සන්ධානය) පක්ෂය මෙම මැතිවරණයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත් විය. 2015 මහ මැතිවරණයේදී ආසන 16ක් දිනාගන්නට ඔවුන් සමත් වුවත් මෙවර එම ඡන්ද පදනමේ යම් අඩුවක් දක්නට විය. 2015 මහ මැතිවරණයේ දී ඡන්ද 515,936 කට හිමිකම් කී දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද පදනම මෙවර 327,168ක් දක්වා පහතට ‍ වැටී තිබුණි. එය ප්‍රතිශතයක් ලෙස ගෙන බැලූ කල 4.62% සිට 2.82% දක්වා 50%කට ආසන්න පසුබැසීමකි.

2015 මහ මැතිවරණයේදී ආසන 6ක් ජයග්‍රහණය කළ ජනතා විමුක්ති පෙරමුණ ‍ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර ආසන 3ක් දක්වා පහතට වැටී තිබීම විශේෂත්වයකි. ජනතා විමුක්ති ‍පෙරමුණට එක ආසනයක් පමණක් හිමිවූ 1994 මහ මැතිවරණයේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තු ආසනයක් හිමිවූ හම්බන්තොට දිස්ත්‍රික් ආසනය ද මෙවර ඔවුන්ට අහිමි වූ අතර කළුතර දිස්ත්‍රික් ආසනය ද අහිමි විය. කොළඹ සහ ගම්පහ ආසන 1 බැගින් දිනාගන්නට සහ ජාතික ලැයිස්තුවෙන් ආසනයක් ලබා ගන්නට පමණක් මෙවර ඔවුන් සමත් විය.

2020 මහ මැතිවරණය අවසන් වූ යේ එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් හිමිකර දෙමිනි. 1947 ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්ත පරාජයක් මෙවර එම පක්ෂයට හිමිවිය. එක් ආසනයකින් පමණක් සෑහීමකට පත් වන්නට එක්සත් ජාතික පක්ෂයට සිදුවූ අතර එම ආසනය ද ජාතික ලැයිස්තුවෙන් හිමිවී තිබීම විශේෂත්වයකි. මැතිවරණය ආරම්භයේ සිටම එක්සත් ජාතික පක්ෂ තම පාක්ෂිකයා සමගි ජන බලවේගය වෙත ඇදී යාම වලකාලන්නට උත්සාහ දැරූවද එය නිෂ්ඵල ප්‍රයත්නයක් විය. මෙවර මැතිරවණයේ දී එක්සත් ජාතික පක්ෂය විශාල පසුබෑමකට ලක් වනු ඇති බවට දේශපාලන විශ්ලේශණ ඉදිරිපත් වූ නමුත් මෙතරම් පසුබෑමක් පිළිබදව කිසිවෙකු හෝ අවම එ ජා ප ප්‍රතිවාදීන් හෝ ගණන් බලා තිබුනේ නැත.

මැතිවරණය පුරාවටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පොදුජන පෙරමුණු අපේක්ෂකයින් ජනතාව ගෙන් ඉල්ලා සිටියේ 2/3ක බහුතර බලයක් ලබා දෙමින් රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය සදහා තමන්ට උපරිම බලය ලබා දෙන ලෙසයි. 2020 මැතිවරණයේ දි රාජපක්ෂවරුන් ඉල්ලා සිටි බලය ජනතාව ඔවුන්ට ලබා දී ඇත.

‍මේ අනුව 2019 දී විධායකයේ බලය වාර්ථාගත ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිකර දුන් ජනතාව 2/3 පාර්ලිමේන්තු බලය ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිකර දීමට 2020 මහමැතිවරණයේ දී කටයුතු කර ඇත. අභිනව ව්‍යවස්ථාදායකය සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ විධායකය ගනුලබන ප්‍රතිපත්ති තීරණ, ආර්ථික සැලසුම්, දිගුකාලීන සහ කෙටි කාලීන දේශපාලන ප්‍රවේශයන් මෙන්ම ජාත්‍යන්තර සබදතා වලට අනුව රටේ අනාගතය තීරණය වනු ඇති බවට ඇතැම් දේශපාලන විචාරකයින් මත ඵල කර ඇත.

මැතිවරණය ප්‍රතිඵලවලට අදාල සාරාංශ සටහනක් පහත දක්වා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?