දේශීය

සුබ පැතුම්

9 වන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තේරී පත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට ආණ්ඩුපක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් අද සුබ පැතුම් එක් කළහ.  අද (20)  රැස්වූ පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යභාරය බවට පත් වූයේ පාර්ලිමේන්තුවේ මුල් පුටුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225දෙනා‌ගේ වැඩි ඡන්දයෙන් කථානායකවරයා තෝරා පත් කර ගැනීමයි. ඒ අනුව ආණ්ඩුපක්ෂයේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහින්ද යාපා මහතාගේ නම යෝජනා කළ අතර සමගි ජන බලවේගයේ පා. මන්ත්‍රී රංජිත් මද්දුමබන්ඩාර මහතා යෝජනාව ස්ථීර කරන ලදි.

අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් පත්වීම බාරගත් අතර නව අභිනව කථානායකවරයා සියලු දෙනාගේ ආචාරයන් මධ්‍යයයෙහි මූලාසනයට කැඳවාගෙන එන ලදි.

අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු කථානායකවරයාට සුබ පැතුම් එක් කළහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කරමින් රටේ තුන්වන පුරවැසියා ලෙස දකුණු පලාත නියෝජනය කරමින් මහින්ද යාපා මහතා පත්වීම පිළිබද තම සතුට ඵල කළේය. තවද විවිධ අමාත්‍යධූර දරමින් ලැබූ දේශපාලන අත්දැකීම් මත මහින්ද යාපා මහතාට කතානායකධූරයේ වගකීම නිසි ලෙස ඉටු කළ හැකි බවට විශ්වාසය ඵල කරන ලදි. කථානායක වරයා අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කරනු ඇතැයි තමන් වැඩිදුරටත් විශ්වාස කරන බවද රාජපක්ෂ මහතා පවසන ලදි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින්, තෙලිජ්ජවිල මහ විද්‍යාලයෙන්, මාතර රාහුල විද්‍යාලයෙන් මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා විවිධ අමාත්‍යධූර හොබවා පාර්ලිමේන්තුවේ ඉහළම අසුනට තේරී පත් වූ මහින්ද යාපා මහතාට තම සුබ පැතුම් එක් කරන ලදි.

ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කරගනිමින් අපක්ෂපාතීව සහ ගෞරවණීයව කටයුතු කරමින් හඬක් නැති මිනිසුන් හට හඬක් වන්නට පාර්ලිමේන්තුව මෙහෙයවීමට කථානායක මහින්ද යාපා මහතා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසන ලදි.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අනුර දිසානායක මහතා අදහස් ඉදිරිපත් කළ අතර එහිදී මහින්ද යාපා මහතා තම දේශපාලන ඉතිහාසය තුළ තීරණාත්මක කඩඉම් පසුකරමින් රටට වැදගත් තීරණ ගැනීම සදහා ගත් ප්‍රශස්ථ ක්‍රියාමාර්ග අගය කරන ලදි. තවද කථානායකධූරය ආභරණයක් නොවන බවත් රට වෙනුවෙන් ව්‍යවස්ථාදායකය හැසිරවීම සම්බන්ධයෙන් ඇති වගකීමක් ලෙස එය භාර ගත යුතු බවත් පැවසූ අතර අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කිරීමට නව කතානායකවරයාට සුබ පතන ලද්දේ ව්‍යවස්ථාදායකට යහපත් දායකත්වයක් ලබාදෙනු ඇතැයි යන බලාපොරොත්තුව ද එක් කරමිනි.

මීට අමතරව වාසුදේව නානායක්කාර, මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සී වී විග්නේෂ්වරන්, ෂිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජීවන් තොන්ඩමන් ඇතුළු මැති ඇමතිවරු සුබපැතුම් එක් කරන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?