මතවාද

20 – අන්තෝ ජටා බහි ජටා

2/3 ක අති විශාල බලයක් සමඟින් පිහිටවූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ වත්මන් පාලනය මාස කිහිපයක් තුළ දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත. ඒ 20වන ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණීමත් සමඟයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන 20වන සංශෝධනය, එහි නිර්මාතෘවරුන් සිතූ තරම් ලෙහෙසියෙන් සම්මත කරගැනීමට නොහැකි තත්ත්වයක් දැන් දැන් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන්ම 2/3 ක අතිමහත් බහුතර ඡන්ද පදනමක් සහිතව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට එම බලය තිබියදීම ආණ්ඩුව අභ්‍යන්තරයෙන් මෙන්ම  යහපාලන ආණ්ඩුව බිඳ දමා වත්මන් ආණ්ඩුව බලයට පත්කරගැනීමට ක්‍රියාකළ පාර්ෂවවලින් සහ විපක්ෂයෙන් එකවර විරෝධතා එල්ලවන තත්ත්වයක් නිර්මාණය කරන්නට 20 වන ව්‍යවස්ථා සංශෝධනය හේතු විය. එය ආණ්ඩුව පැත්තෙන් ගෙන බැලූ කල එතරම් සුබදායක නැත. මේ වන විට ආණ්ඩුව පාර්ෂවයෙන් 20ට එකඟව අදහස් දක්වන්නන් වැනෙන සුළු සහ දියාරු මත වපුරන්නන් බවට පත්ව ඇත. ඔවුන් දුර්මුඛ තත්ත්වයකට පත්ව සිටීම තුළින්ම ආණ්ඩුව පත්ව ඇති අසීරුතාවය තේරුම් ගැනීමට හැකිය.

පසුගිය කාලය පුරා විවිධ පාර්ශව ‍20වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව තම අදහස් ප්‍රකාශ කළ අතර පෙත්සම් ගණනාවක් ද අධිකරණයට ඉදිරිපත් විය.

20ට එරෙහි 20ක් ලෙස නීතිඥයින් 20 දෙනෙක් තම විරෝධතා ගොනු කළ අතර මාධ්‍ය හමුවක් කැදවා ඔවුන් පැවසූවේ 20වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී බැවින් එය පරාජය කරන්නට තමන් මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි.

තවද ආණ්ඩුව නියෝජනය කරන විවිධ පාර්ෂව 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම අප්‍රසාදය සහ විරෝධය ඵල කරන ලදි. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ලිඛිතව තම විරෝධය ඉදිරිපත් කළ අතර මේ වන විට විජයදාස රාජපක්ෂ මහතා ද  20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම දැඩි විරෝධය ඉදිරිපත් කර ඇත. ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය ද විවිධ අවස්ථාවන් හී දී මෙම 20 වන සංශෝධනය සම්බන්ධයෙන් තම අසතුට ඵල කර ඇත. ආණ්ඩුව තුළින්ම ‍20 වන ව්‍යවස්ථා සංශෝධනය අරඹයා විවිධ මතවාදයන් කරලියට පැමිණෙමින් ඇති අතර මේ නිසා‍ම ඉතා කුඩා කාලයකදී ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රතිවිරෝධතා තීව්‍ර වෙමින් පවතී.

ආණ්ඩුව අභ්‍යන්තර ගැටුම් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන විට ආණ්ඩු විරෝධී පාර්ෂවයන් ද 20ට එරෙහි තම සටන මුවහත් කරමින් සිටී. සමගි ජන බලවේගය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි  බරපතලම අවිය ලෙස ඔසවා ඇත්‍‌තේ 20වන සංශෝධන විරෝධයයි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද  20ට එරෙහි සටන ඉහළටම ඔසවා ඇත. විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන සිවිල් සංවිධාන ද 20 ව්‍යවස්ථා සංශෝධන දැඩිව හෙලා දකිමින් විවිධ ක්‍රියාමාර්ග තෝරමින් සිටී.

ආණ්ඩුව ඉදිරියේ ඇති ඉහත ආතතිමය තත්ත්ය තවත් වර්ධනය කරමින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පැනනගින ආගමික නායකයින්ගේ විරෝධය ද තීව්‍ර වෙමින් පවතී.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා සුවිශාල දායකත්වයක් ලබා දුන් ඇල්ලේ ගුණවංශ හිමියන් බෙංගමුවේ නාලක හිමියන් මෙන්ම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා සිටියේ 20 සම්බන්ධයෙන් නැවතත් සිතා බලන ලෙසයි.

එම ලිපිය මගින් ජනාධිපතිවරයාට වැඩිදුරටත් දන්වා ඇත්තේ ජනතාව‍ගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලය සහ ස්ථාවරත්වය පවා හීන කරවන 20වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමතිවරුන් සහ අමාත්‍ය බලතල ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ බලය ජනපතිට හිමිවන බවත් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කිරීමේ අවස්ථාව ජනතාවට අහිමි වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් නොව රජයේ ඕනෑම තනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළ යුතු බව ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය ඉවත් කිරීම, රජය විසින් 50ක කොටස් දරන සමාගම් ඉවත් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම මෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වය පත් කිරීමේ ‍අභිමතානුසාරී බලය ජනාධිපතිට ලබා දීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද ලිපිය මගින් විවේචනයට බඳුන් කර ඇත.

මේ අතර වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් සුබවාදී අදහස් ඵල කරමින් කටයුතු කළ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමි ප්‍රමුඛ කතෝලික රදගුරු සම්මේලනය ද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එක් පුද්ගලයෙක් වෙත බලය ඒකරාශී කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් කළ යුතුව ඇත්තේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයන් ගෙන එනවා වෙනුවට ජනතාවාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමත් බවයි.

තුලන සහ සංවරණ ලක්ෂණවලින් තොරව පුද්ගලයකු තූළ බලය සංකේන්ද්‍රණය වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයකට යහපත් නොවන හෙයින් 20 වන සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

රදගුරු සම්මේලනයේ සභාපති (බදුල්ල රදගුරු) වින්සන්ට් ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ සහ ලේකම් (කොළඹ අතිරේක රදගුරු) ඇන්ටනි ජයකොඩි රදගුරුතුමන්ගේ අත්සනින් නිවේදනය නිකුත් කර ඇත.

මේ අතර 20 සම්මත වුවහොත් එමගින් පොල්පොට් වැනි නායකයකු බිහිවීමේ අනතුර රට හමුවේ ඇති බැවින් එය වැළැක්වීම සාමූහික වගකීමක් බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියන් පවසන ලදි. එමෙන්ම ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ද නිවේදනයක් නිකුත් කරමින් පවසන ලද්දේ 20 වන සංශෝධනය මඟින් කර ඇත්තේ රටේ ඉදිරි ගමනට සාධනීය ලක්ෂණ එකතු කිරීම නොව රට ආපස්සට ගමන් කරවන නිශේධනීය සාධක එකතු කිරීම බවයි.

‍ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ඉදිරිපත් කරන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මේ වන විට එල්ල වී ඇති විරෝධය හමුවේ ආණ්ඩුව පත්ව සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වැනි උභතෝකෝටිකයකටය. ඒ 20 නිසා අන්තෝ ජටා බහි ජටා තත්ත්වයකට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බැවිනි.  යම් ලෙසකින් ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩු ප්‍රධානීන් කිහිපදෙනෙකුගේ සම්පූර්ණ බලය යොදවා 2/3 බලය පාවිච්චි කර 20 සම්මත කරගනු ලැබුවහොත් ඒ තුළින් ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම අර්බුධ රැසක් නිර්මාණය වීමට නියමිතය.

දේශපාලනයේ හෙට දවස ගැන සම්පූර්ණ පුරෝකථනයක් ඉදිරිපත් කිරීමට නොහැකි නමුත් ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් රජයට එතරම් සුබදායක නැති බව පැවසීමට අමුතු ඥානයක් අවශ්‍ය නොවේ.

සටහන – රශ්මික ප්‍රභාත් විශ්වජිත්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?