දේශීය

රියාජ් බදියුදීන්ගේ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රබා කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර එම විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම තීන්දුව ගාස්තු රහිතව නිෂ්ප්‍රභා කිරීමට තීරණය කළ බවයි.

රියාජ් බදියුදීන් එම පෙත්සම මඟින් අධිකරණය හමුවේ කියා තිබුණේ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 14 වනදා සැකපිට තමන්ව අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත මාස 6ක කාලයක් රඳවා තබා පරීක්ෂණ සිදුකළ බවයි.

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් තමන්ට හිමි නිවාස, දේපළ, ව්‍යාපාර, බැංකු ගිණුම්, ජංගම දුරකථන සහ පරිගණක යනාදිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයන් සිදුකළ අතර එහි දී තමාට එරෙහිව කිසිඳු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි කිසිවක් අනාවරණය නොවීම හේතුවෙන් තමන්ව අත්අඩංගුවෙන් නිදහස් කළ බව ද එම පෙත්සමේ සඳහන්ව තිබේ.

තමන්ව මෙසේ නිදහස් කර තිබිය දීත් යම් යම් දේශපාලන හේතූන් මත තමන්ව යළි අත්අඩංගුවට ගන්නා ලෙස විවිධ පාර්ශ්වයන් විසින් බලපෑම් එල්ල කරමින් සිටින බව පෙන්වාදෙන පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ සඳහන්කර සිටියේ තමාව යළි අත්අඩංගුවට ගත හැකි බවට සාධාරණ බියක් මතුව තිබෙන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?