දේශීය

ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබේ.

එරට වේලාවෙන් 18 වනදා ප.ව. 2.30ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වූ ජනධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න තේමා කරගනිමින් 21වන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇරඹීමට නියමිතය.

මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට (20) පෙරවරුවේ ආරම්භ වන අතර සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයෝ මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ ජනාධිපතිවරයා සිය දේශනය සිදු කරන අතර 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට නියමිත බවයි.

සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන අය ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?