පුවත්පත් කලාව තුළ සුනිල් මාධව ප්‍රේමතිලක යනු නොමැකෙන ස්වර්ණමය සළකුණකි

ශෝක පණිවිඩය

ජනතාවාදී පුවත්පත් කලාවේ පුරෝගාමියෙකු ලෙස මෙරට පුවත්පත් කලාව ශෝභාමත් කරමින් සිය දිවි සළකුණ තැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වූයෙමි.

මානව හිතවාදියෙකු ලෙස අයුක්තියට එරෙහිව සිය පන්හිඳ අවියක් කරගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මෙරට ජන හදවත් තුළ සදා අමරණීය පුවත්පත් කලාවේදියෙකි.

88-89 භීෂණ සමයේ සිදුවූ සියලු ඝාතන හා පැහැරගැනීම්වලට එරෙහිව අපි එදා සංවිධානගතව පෙනී සිටි අවදියක සුනිල් මාධව ප්‍රේමතිලක මහතා නොබියව සිය පන්හිඳ හැසිරවූ හැටි අදත් මගේ මතකයෙන් ගිලිහී නොයයි.

හොරණ තක්ෂිලාව, කෝට්ටේ ආනන්ද, මහරගම විද්‍යාකර විදුහල්වලින් මූලික අධ්‍යාපනය හැදෑරූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ද්වීතීක අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. එකල ඔහු ආනන්දයේ 16න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි.

වෛද්‍යවරයෙක් වීමේ අදිටනින් අකුරුකළ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා පාසල් සමයේ සාහිත්‍යයත් දේශපාලනයත් හැදෑරීමට යොමුවීමෙන් කොළඹ යුගයේ ප්‍රකට කවියකු මෙන්ම එකල ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයෙකු වූ මීමන ප්‍රේමතිලක නම් සිය පියාගේ අඩිපාරේ යමින් පුවත්පත් කලාවට ප්‍රවිශ්ට විය.

පාසල් සිසුන් පිරිසක් නිර්මාණය කළ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වන “නිම්වළල්ල“ චිත්‍රපටයේ කතා සංකල්පය නිර්මාණය කරමින් ආනන්ද විද්‍යාලයේ සිසුවෙකු ලෙස ඊට දායක වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා එකල ආනන්දයේ සඟරාව සංස්කරණය කළේය.

පාසල් ගමනට සමුදී 1963 දී ලේක් හවුස් ආයතනයට සම්බන්ධවන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා සිළුමිණ, දිනමිණ, සරසවිය හා ජනතා පුවත්පත්වලට සිය නිර්මාණ දායකත්වය ලබා දුන්නේය. සිළුමිණ පුවත්පතට ඔහු විසින් සංස්කරණය කළ “හදවත ඇඳි ගී“ ප්‍රථම නිසදැස් කවි පිටුව පාඨක සිත් පිනවීය.

ස්වාධීනත්වයට දැඩිසේ ඇළුම් කළ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ලේක් හවුස් ආයතනයට සමුදෙමින් ආරම්භක සාමාජිකයෙක් ලෙස දිවයින පුවත්පත හා එක්වන්නේ නිදහස් අදහස් වලින් සාම්ප්‍රදායක පුවත්පත් කලාව පරිවර්තනීය වෙනසකට යොමු කිරීමේ අපේක්ෂාවෙනි.

ජනහද දිනූ විප්ලවවාදී පුවත්පත් කලාවේදියෙක් ලෙස සුනිල් මාධව ප්‍රේමතිලක මහතා රටම හඳුනා ගන්නේ තරුණ පරපුර ඉලක්ක කරගත් දිවයින පුවත්පතේ “08 වැනි පිටුව” ඔස්සේය.

එතැනින් නොනැවතුණු සුනිල් මාධව ප්‍රේමතිලක නම් මෙම අසහාය පුවත්පත් කලාවේදියා මෙරට පුවත්පත් කලාවේ තීරුලිපි කලාව නව මානයකට රැගෙන යමින් “සත්‍යවාදියෙකුගේ දිනපොත” ලියන්නට පටන් ගත්තේය.

දයාසේන ගුණසිංහයන් විසින් සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ චරිතය කේන්ද්‍රකරගනිමින් “අවියක් නැති සෙනෙවියා“ කෙටිකතාව නිර්මාණය කරන්නේද හඬක් නොමැති මිනිසුන්ට හඬක් වූ මෙම සත්‍යවාදියා වෙනුවෙනි.

විකල්ප පුවත්පත් කලාව මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියෙක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා 1990 වර්ෂයේ දී සිය කර්තෘත්වයෙන් “ලක්මිණ” එළිදැක්වීය. කෙටි කලක් තුළ ජනතාව අතරට ගිය විප්ලවීය මතවාද රැගත් “ලක්දිව” හා “හිරු” පුවත්පත්වල කතුවරයා වූයේ ද සුනිල් මාධව ප්‍රේමතිලක මහතාය.

“හඬනු මැන නිදහස“, “ඇමරිකා ඇමරිකා“, “කැරොලයින්ගේ දිනපොත“, “මොහොමඩ් අලී“, “අන්ධකාරයේ දරුවා“, “මිනිසෙක්“, “සැබෑ කවියෙකුගේ කතාව“ කෘති ඔස්සේ ද සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ජනතාව අතරට ගියේය.

සමාජයේ උන්නතිය උදෙසා ජනතා අයිතීන් වෙනුවෙන් සිය පෑන හැසිරවීම නිසාම ඔහු සිය මාධ්‍ය ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට ලක්වූ වාර ගණන බොහෝය. එවන් අවස්ථාවලදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා පත්තර කන්තෝරුවලට සමුදුන්නේ සිය ප්‍රතිපත්ති පාවා නොදෙන සත්‍යවාදියෙක් ලෙසිනි.

පුවත්පත් කලාව තුළ සුනිල් මාධව ප්‍රේමතිලක යනු නොමැකෙන ස්වර්ණමය සළකුණකි. සිය දිවි සැරිය නිමා වුව ද සුනිල් මාධව ප්‍රේමතිලක නම් සත්‍යවාදියාගේ දිවි මං සළකුණු තවත් සුවහස් කල් මෙරට ජන හදවත් තුළ සදා නොමියෙනු ඇත.

අවුරුදු 77ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාට උතුම් නිවන් සුව අත්වේවා! යැයි ප්‍රාර්ථනා කරන අතර ඒ මහතාගේ අභාවයෙන් ශෝකයට පත් බිරිඳ මනෝරා ප්‍රශාන්ති, නන්ජිත මාධව ප්‍රේමතිලක පුතණුවන් ඇතුළු පවුලේ සමාජිකයන්ටත් ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු සහෘද මාධ්‍යවේදීන් හා ප්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් ශෝකය පුද කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.