Latestදේශීයමතවාද

ගඳ, සුවඳ සහ සක්විති රණසිංහ

මිනිස්සු හැටියට සමාජයක් හැටියට අපි ඉතාමත් කැමති දෙයක් තමයි ගඳ ගැන කතා කරන්න. ඒ කුණු රසය තලුමරන්න මේ ලියන මම වුණත් කැමති ඇති. සාධනීය ආකල්පවලට සිතුවිලිවලට වඩා අපි ඇතුළෙ වැඩි රුචිකත්වය තියෙන්නෙ නිශේධනීය කයිවාරුවලට කියලයි මට හිතෙන්නෙ. ඒක අපි රටක් හැටියටම මේ වෙන කොට ඔප්පු කරලා ඉවරයි. කෙනෙක්ට අවැඩක් වුණාම, මිනිහෙක් බංකොලොත් වුණාම, ස්ත්‍රීයක් දූෂණය වුණාම, ව්‍යාපාරයක් වැටුණම, මිනිහෙක් වංචාවක් කරාම, මිනිහෙක් වංචාවකට අහුවුණාම වගේ නේක ඛේදවාචක අපි මහඉහළින් සමරන්න හරි කැමති මිනිස්සු ටිකක්.

ඒ ඒ දේවල්වල දිග පළල ගැඹුර අතහැර, අපි කැමතියි ඛේදවාචක දත් තිස්දෙක මැද්දෙ දාගෙන උදේ හවා චුයිංගම් වගේ හප හප ඉන්න. එහෙම තමයි අපි බහුතරයක්. අපි හරි වෙනස් ජාතියක්. ඔය ඇත්ත දන්න නිසාම පත්තරවල හෙඩින්, ලිපි, නිවුස් පවා ඒ විදියට වෙනස් වුණා. කොහොම වුණත් අපි මේ ගන්දස්සාරය කතා කරන්න තමා හරිම කැමති. තමන් ඉන්න තැනක එක පාරටම ගඳක් ආවොත් හැම එකාම ඒක ගැන රට පෙරළගෙන කතා කරන්න හරිම දක්ෂයි. අනිත් එකාගෙ සපත්තු අඩි පවා උස්සලා බලන තරමට අපි ගඳ ගැන උනන්දුයි. අපි ගඳ සාමුහිකව විඳින්න දක්වන්නේ පුදුමාකාර ඇල්මක්.

ඔය අතරම හොඳ වර්ගයේ පර්ෆියුම් එකක් ගහගෙන යන පුද්ගලයෙක්ගේ සුවඳ අපි විඳින්නෙ තනියම. නැත්නං ඇතුළෙන් එන එයාර් ෆ්‍රෙෂ්නර් එකක සුවඳ වුණත් අපි විඳින්නෙ තනියම. අපි ගඳ හෙව්වා වගේ සුවඳ හොයන්න හදන්නෙ නෑ. වෙන විදියකිං කිව්වොත් අපි ගඳ හොයාගෙන ගියා වගේ සුවඳ හොයාගෙන යන්නෙ නෑ. හරිම කේවලව දන්නෙ නෑ වගේ පාඩුවෙ සිටීම තමයි සිරිත.

ඉතිං මේ සටහන ලියන්න හිතුණෙ සක්විති රණසිංහ කියන ඉංග්‍රීසි ගුරුවරයා සම්බන්ධ අතීත සිද්ධියේ ගඳ රටපුරාම පතුරන්න මේ රටේ සියලු මාධ්‍ය වගේම ඔබත් මමත් දායක වෙලා තියෙනවා. පල් හොරෙක් කියලා තියෙනවා. හිරේ දාන්න ඕන කියලා තියෙනවා. මිනිස්සු රැවැට්ටුවා කියලා තියෙනවා. පව් අසරණ මිනිස්සු කියලා තියෙනවා. ලෝක හොරු වගේ එවුංට ඌත් සක්විතියෙක් නේද කියලා තියෙනවා. කරුණු එසේ වුවත් සක්විති ළඟ මුදල් තැන්පත් කළෝද වැඩි ලාභයක් තකා සූදුවකට ගිය අය වැනිය යන්න මගේ පුද්ගලික අදහසකි. එය මගේ අදහසක් පමණි. සක්විතිට වගේම ඔවුන්ටද වරදින්නට ඇත.

ඉන්පසු සක්විති පොලීසියට හසුවන පණිවිඩයද ඔය නාලිකාවලින් ප්‍රචාරය විය. ඒ වන විට සක්විති නැත්තටම නැති වූ සාමාන්‍ය මිනිසෙකි. ඔබත් මාත් දන්නා පරිදි සාමාන්‍ය මිනිසුන්ට හිරගෙය අයිතිය. බැරිවෙලා වත් සක්විති හමුවන විට ඔහු සන්තකයේ එකී මුදල් සම්භාරය තිබුණේ නම් කුමක් සිදුවනු ඇත්ද යන්න ඔබ කවදා හෝ සිතා තිබුණාද? ඔබට එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර සංවිධායක හෝ වෙනයම් තනතුරකින් සිටි කේ.පී මතකද? ඔහු ද මේ ආකාරයෙන්ම අරක්ෂක අංශවලට හසුවිය. එය නිකමට මතක් කළා පමණි.

ඉන් අනතුරුව සක්විති වසර ගණනාවක් සිරබත් කෑවේය. මගේ මතකය නිවැරදි නම් එක්තර කාලයකදි ඔහුට ඇප නියම වුවද අවශ්‍ය ඇප මුදල ලබා දීමට නොහැකිව නැවතද සිරගෙටම යන්නට සිදු වූ පුවතක් යාන්තමට මතකය. (එහි වෙනස්කම් වන්නට පුළුවන. ඈත පත්තර මතකයකි) අනතුරුව ඔහු සිරගෙදර ඉංග්‍රීසි උගන්වන්නට යෙදුණු බව දැනගත්තේ පසුවය. කෙසේ හෝ සක්විති වසර ගණනාවකට පසු නැවතත් සාමාන්‍ය සමාජයට පිවිසීමේ වරම ලබයි. ඒ නැත්තටම නැතිවූ ඇඳිවත පමණක් ඇත්තෙකු සේය.

සක්විති ගඳ හමාර වී සක්විති සුවඳ පරිච්ඡේදය ඇරඹෙන්නේ ඉන් පසුවය. දැනට වසර කීපයකට පෙර දිනක යූටියුබයේ එහෙට මෙහෙට යන අතර තුරදී සක්විතිගේ ඉංග්‍රීසි පන්ති නාලිකාව හමුවන්නේය. දුටු සැනින් සබ්ස්ක්‍රයිබ් කිරීමට සිත දුන්නත් මා ඒ දිහා ඉතා ඕනෑකමින් ආශාවෙන් බලාසිටීමට පුරුදු වුණි. සතියෙන් සතිය මාසෙන් මාසෙ වසරෙන් වසර සක්විති නැවත සක්විති රණසිංහ සර් බවට නැවත සමාජ මාධ්‍ය හරහා ගොඩ නැගුණි. මුල් කාලයේ ඔහුගේ වීඩියෝවල ආකර්ෂණයක් නොතිබුණද සක්විති රණසිංහ ආයෙ ඇවිල්ලා කියන ප්‍රහර්ෂය තිබුණි. අද වන විට ඔහු අති තරගකාරී නිර්මාණශීලී යූටියුබ් කලාවේ වෙනම ගුරුවර සලකුණක් තබමින් සිටීම මට මහත් ආනන්ද ජනක හැඟීමකි. කිසිදා ඔහුව දැක හමුවී නැතත් රටම ආන්දෝලනයට තුඩු දුන් මේ පුද්ගල චරිතය නැවත ගොඩනැගෙනවා දැකීම දැන් සුවඳ ගැන කතා කරන්න කැමති මට මහත් සතුටකි. පුරුදු පරිදි සක්විති ගඳ පමණක් කතා කළ අපි මේ සුවඳ අද ද කතා නොකරයි.

මට පුද්ගලිකව සක්විති රණසිංහව දැනෙන්නේ මේ නැවත ස්වයං ගොඩනැගීම තුළදීය. ඔව් ඇත්ත. ඔහු ඉගැන්වීමටම උපන්නෙකි. ඔහු ඔබට මට සමාජයට යමක් උගන්වමින් පවතී. සක්විතිගෙන් මා උගත් පාඩම් කීපයක් ඇත.

1. නිධානයක් උඩ ඉඳගෙන වෙන වෙන දේවල් දකින්න උත්සහ කිරීම නොකළ යුතුය.

2. තමන් හොඳටම අනුදත් දෙයින් තමාට කෙසේ හෝ ගොඩනැගිය හැකිය.

3. සියල්ලම අහිමි වූ විට වඩාත් උත්සහ කළ යුතුය.

ඔබට මේ ලැයිස්තුව අවශ්‍යනම් තවත් දීර්ඝ කළ හැකිය. මම සක්විති රණසිංහ සුවඳ ආඝ්‍රාණය කරමින් සිටිමි. මේ තරම් උට්ඨාන වීර්යයක් ඇති මේ කාලයේ මා දන්නා එකම මිනිසා මොහුය. අප මේ ගෙවන තත්පරයද ඊට පසු එක්වන්නේ අතීතයටයි.

සක්විති අතීතයට පූර්වාදර්ශී චරිතයක් ලෙසින් එක්වේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි. එවිට සක්විති නමින් නවකතා, සිනමා පට වුවද බිහිවිය හැකිය. එදාට සක්විති රණසිංහ වීරයෙකි. අපේ භාවිතාවෙන් අපේ පූර්ව සලකුණු, අප සම්බන්ධයෙන් ඇති සමාජ ආකල්ප, නාමකරන සියල්ල වෙනස් කළ හැකි බව මොහු අපට කියාපාන තවත් සත්‍යයකි. මිනිසාට වරදින්නට ඇති හැකියාව සේම නිවැරදි වන්නටත් සමාජයේ අයිතියක් ඇත. සුක්කානම සෑම අතකම තිබුණද පදවන දිශාව ගැන දැනුමක් තිබිය යුතුය. ඔබද මමද ඇතැම්විට මේ මොහොතේදීත් මොකද්ද බං ඒ ගඳ කියමින් සුක්කානම කරකවන්නේ වැරදි පාරක විය හැකිය.

සැ.යු – සක්විති රණසිංහ නම් මිනිසාට ඔහු මේ වීර්යයෙන් ගොඩනැගෙමින් උපයන ධනයෙන් ඔහුව විශ්වාස කරමින් අතීතයේ ආයෝජනය කළ පිරිස් හට දවසක සාධාරණයක් කළ හැකි වේවා යන්න පතමි. එවිට සක්විතිට සක්විති සුවඳ දැනෙනු ඇත.

ප්‍රසාද් වීරසේකර

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?