ෆැන්ටසියට අපි බොරු කරන්නෙ නැහැ

පුටින් ගේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිමිත්තෙන් බුකියේ යම් දැනුවත් විසංවාදයක් මතු වෙලා තිබුණා. මතුපිට සරල ස්වරූපයෙන් ගත් විට විවාද පාර්ශව දෙකක් ඉන් හදුනා ගන්න පුළුවන්.

එක් පැත්තක් ප්‍රජාතන්ත්‍රවාදීන් වගේ නම් කර ගත්ත ලිබරල්වාදී අදහස් දරන අය. අනෙක් පැත්ත ඇමරි-යුරෝ අධිරාජ්‍යවාදයට විරුද්ධ සමාජවාදී-වාමාංශික අදහස් දරන පිරිසක්. පළමුව කී පිරිස ලිබරල්වාදී ප්‍රජාතාන්ත්‍රික  කතිකාව තුළින් මේ ප්‍රශ්ණය දෙස බලද්දී ඔවුනට බරපතළම පසමිතුරු අක්ෂය ලෙස පේන්නෙ පුටින්ගේ රුසියාව. (සහ සී ජී පින් ගෙ චීනය).

ඉහත කී රටවල් පැරණි සමාජවාදී රාජ්‍යයන්ගේ ශේෂ පත්‍රයක්  ලෙස අද ප්‍රජාතන්ත්‍රවාදය සීමා කළ අධිකාරිවාදී රාජ්‍ය ලෙසයි පවතින්නෙ. ඒ නිසා ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදය අවධාරණය කරන අයගේ පුටින් විරෝධයන් පැරණි සමාජවාදී ඒකබල ක්‍රමයන්ට එරෙහි විවේචනයන් දක්වාත් දිගු වෙනව. ඊට සාපේක්ෂව ඇමරි-යුරෝ බටහිර කදවුරේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හැඩහුරුව කෙරෙහි මේ ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදීන් නැඹුරුයි.

දෙවනුව කී ඇමරි-යුරෝ අධිරාජ්‍යවාදයට විරෝධී වාමාංශික කොටස් තුළ බටහිර ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය ගැන බරපතළ විචිකිච්චාවක් තියෙනවා. ඔවුන් එම ප්‍රජාතන්ත්‍රවාදය නම් කරන්නෙ ධනේෂ්වර පංතීන්ගේ පුද්ගලික ලාභය,බලය හා වෙළදපොළ තරගය සුජාත කරන වහන්තරාවක් ලෙසයි. ඇමරි-යුරෝ අධිරාජ්‍ය බලය හරහා දේශපාලන ක්‍රමයක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත කරමින් තිබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ලෝකයේ බොහෝ රටවල් වල බරපතල ආර්ථික -සමාජයීය අසමානතාවයක් නිර්මාණය කරල තියෙනව කියන එක තමයි ඔවුනගේ අදහස. ඒ නිසා එම ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය අත් හිටවූ නිර්ධන පංතියේ දේශපාලන බලයක් පිහිටු වීමේ දිශාවට මෙම සමාජවාදී වාමාංශික කොටස පක්ෂයි. පැරණි සමාජවාදී රුසියාව හා චීනය පොදුවේ අත්දුටු ක්‍රමය එයයි. ඒ නිසා වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා පොදු ජනතාවගේ මූලික ද්‍රව්‍යාත්මක අවශ්‍යතා සමානව තෘප්ත කෙරෙන පාලන ක්‍රමයක්.

දැන් පළමුව කී ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදයට බර පිරිස ඇමරි-යුරෝ අධිරාජ්‍යවාදය පිළිබද කාරණය එතරම් සැලකිල්ලට ගන්නෙ නැහැ.

ඒ එක්කම ඔවුනගෙන් බහුතරය නිදහස් වෙළදපොළ තරගයට පක්ෂයි. ව්‍යාපාරික ප්‍රාග්ධනය විසින් අවධාරණය කරන පරිභෝජනවාදී නිදහස් ලෝකයට එකගයි. මේ විවෘත ධනවාදී නිදහස ඇතුළෙ දුගී දුප්පත්කම ස්වෝත්සාහයෙන් ජය ගන්න පුළුවන් සහ එසේ අපහසු තැන් වලදි විතරක් රාජ්‍යයේ සමහර ශුභසාධනයන් අවම සීමාවකට යටත් ව විතරක් පවත්වා ගත්තට කමක් නැහැ කියන එකයි ඔවුනගේ අදහස. මොන අර්ථයකින් හෝ එන අධිකාරිවාදයට ඔවුන් විරුද්ධයි. (වෙළදපොළ නිදහසේ අධිකාරීත්වය පැහැදිළිව නොපෙනෙන නිසා ඊට විරෝධයක් නැත.)

සමාජවාදී-වාමාංශික පිරිස දන්නව අද ලෙනින් ගේ රුසියාව හෝ මාඕ ගේ චීනය නැහැ කියල. ඒත් ජනතාවගේ ද්‍රව්‍යාත්මක අවශ්‍යතා යම් සමානතා පදනමකින් තෘප්ත කරවීමත්, පැරණි සමාජවාදී රාජ්‍ය ක්‍රමයේ  අතීතකාමී සම්ප්‍රදායන් නඩත්තු කි‍රීමත් ආදිය නිසා රුසියාව හා චීනය යන රටවල් කෙරෙහි යම් නැඹුරුතාවයක් මේ පිරිස තුළ තියෙනව. සමහරු ඒක සෘජුවත් ඇතැමුන් ඒ අදහස අනියමෙනුත් නියෝජනය කරනවා. ඊටත් වඩා ඇමරි-යුරෝ අධිරාජ්‍යවාදී බලය ඒක කේන්ද්‍රීය ලෝක ක්‍රමයක් වීමේ අනතුරට එරෙහිව රුසියාව හා චීනය වැනි රටවල ඇති විකල්ප බලය වැදගත් ය කියන අදහසත් දරනවා. ඒ බහු කේන්ද්‍රීය ලෝක පර්‍යායක ඇති වැදගත් කම අවධාරණය කරමින්.

දැන් රුසියන්-යුක්‍රේන ප්‍රශ්ණය  සම්බන්දයෙන් බරතැබීම් පැන නගින්නෙ ඉහත කී මතවාදී ප්‍රතිවිරෝධයන්ට  අනුවයි. එම බෙදීම හරියටම අන්ත දෙකක් විදියට තියෙනවමත් නෙවෙයි. රේඛාවේ අන්ත දෙකට සාපේක්ෂව ඉහත නියෝජනයන් විවිධ ස්ථානයන්ගේ පිහිටනවා..හැබැයි ‘වැඩිය බර’ හා ‘අඩුව බර’ යන මාන හදුන ගන්න අපහසු නැහැ.

දැන් මෙතන ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය අතර වූ පැරණි විභේදනයේ අනුනාදයක් තියෙනවා. සරලව කිව්වොත් ‘ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදය’ දිහාවට ගමන් කරන කොට ‘සමාජවාදය’ මග හැරෙනවා. සමාජවාදය දිහාවට ගමන් කරන කොට ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’ මග හැරෙනවා.

දැන් මේ උභතෝකෝටිකය විසදන නව වාම ප්‍රජාතාන්ත්‍රික යෝජනාවක් නැද්ද ? තියෙනවා. පුළුල් වාමාංශයේ එක් කොටසක් ලෙස අපි යෝජනා කරන්නෙ එයයි . වාමාංශික ජනප්‍රියවාදය/ජනතාවාදය කියල අපි මෑත මතු කරපු සංවාදය පැන නගින්නෙ එතනින්. අවශ්‍ය නම් එය ‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය’ ලෙස නම් කරන්නත් පුළුවන්.

ඉතාම සරලව එහි අනුපානය මෙහෙමයි. ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය කියන එකිනෙකට බෙදුණු පැරණි ව්‍යාපෘති දෙකෙහි ඇති නිශේධනීය අංග බැහැර කර ඒවායේ ඇති මූලික සාධනීය අංග අතර සුසම්බන්දයක් ඉදිරිපත් කිරීමයි අපගේ යෝජනාව. එහිදී බටහිර ලෝකයෙන් උත්පාද වූ ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික උරුමයට අපි පක්ෂයි.(බටහිර නූතනත්වයට පක්ෂයි කිව්වත් වැරදි නැහැ).

ඒ කියන්නෙ නිදහස හා සමානාත්මතාවය පිළිබද ආදර්ශයට.

එහෙත් මේ දෙක අතර තියෙන්නෙ ආතතියක්.මේ ආතතිය අද දිශානත වෙලා තියෙන්නෙ සමානාත්මතාවය බෙලසුන් කර දැමූ නිදහසක් වෙතටයි. සමානාත්මතාවය නැති නිදහස කියන්නෙ නිරුවත් වෙළදපොළ තරගයේ හා ප්‍රාග්ධන / ලාභ සමුච්චනයේ නිදහසයි. ඉන් මූලිකවම විනාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ  මූලිකම කුලුණු දෙක වන ආර්ථික-(ද්‍රව්‍යාත්මක) ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන ස්වාධිපත්‍යයයි. ඒ නිසා ගෝලීය ධනේෂ්වරය හා එහි අධිරාජ්‍යවාදී දේශපාලන මෙහෙයුම් විසින් බරපතළ ලෙස දුර්වල කර දමා ඇති ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදයේ කතිකාව රැඩිකල්කරණය කිරීමක් හරහා එය යළි අර්ථවත් බලයක් බවට පත් කළ යුතුව තියෙනව කියන එකයි අපගේ යෝජනාව.

ඒ සදහා අනිවාර්‍යෙන්ම ‘ආර්ථික සමානාත්මතාවය’ හා ‘මහජන ස්වාධිපත්‍යය’ කියන ප්‍රජාතන්ත්‍රවාදයේ අයෝමය ශක්‍යතාවයන් ලිබරල්-ප්‍රජාතතන්ත්‍රවාදයේ සීමිත අර්ථයන්ට එරෙහිව ඇතුළත් කොට එකී කතිකාව ගැඹුරු කළ යුතු වෙනවා. සමාජවාදී ව්‍යාපෘතියෙන් අපට උපුටා ගැනීමට ඇති සම්බන්දය එයයි. සමාජවාදය නාමයෙන් ආපු අධිකාරිවාදයට අපි මුළුමනින්ම විරුද්ධයි විතරක් නෙවෙයි, “21 සියවසේ සමාජවාදය මැරිල ගොඩක් කල්” කියල අපි අවධාරණයෙන් කියනවා. ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය විසින් අනුදකින දේශපාලන නිදහස, මානව අයිතිවාසිකම් ඇතුළු බහුවිධ විමුක්තීන් සක්‍රීය කිරීම වෙනුවෙන් අපි දෙකක් නැතුව පෙනී ඉන්නවා. ඒ එක්කම නිෂ්පාදනයේ ධනවාදී සබදතාවයන්‍ ට එරෙහිව නිෂ්පාදනයේ සමාජ සන්තකකරණයක් අනිවාර්‍යයෙන්ම යෝජනා කරනව.

වසර දෙසීයකට පමණ පෙර යුරෝපය දිහාවෙන් පැන නැගි ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය තවදුරටත් පෘථුල හා ගැඹුරු කරමු කියන එකයි අපේ යෝජනාව.

අන්න ඒ පසුබිම තුළ රුසියන්-යුක්‍රේන් ප්‍රශ්ණයට අදාළව අපේ සටන් පාඨයන් මෙන්න මෙහෙමයි.

1. යුක්‍රේනයට එරෙහිව පුටින් ගේ යුද්ධය ඉක්මනින් හකුළා ගත යුතුයි විතරක් නෙවෙයි, පුටින් පන්නයේ අධිකාරිවාදී අත්තනෝමතික පාලනයන් ජනතා බලයකින් පෙරළා දැමිය යුතුමයි. සී ජී පින් ගේ චීනයටත් මෙය අදාළයි

2. ඇමරි-යුරෝ ධනේෂ්වර-අධිරාජ්‍යවාදී අතපෙවීම් වලට හා නේටෝ වැනි යුධ සන්ධානයන්ගේ ව්‍යාප්තියට පැහැදිළිවම එරෙහි විය යුතුය. ඒ ලංකාවේ සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදීන්ගේ බටහිර විරෝධය චූන් කරන්න නෙවෙයි බටහිර නූතනත්වය හා එහි ප්‍රජාතන්ත්‍රවාදී  උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන්..

ආත්ම මූලිකව අතුරු කරුණක් කිව්වොත් අපි රුසියාවේ හෝ චීනයේ ජීවත් වෙන්න ආස නැහැ. අපේ අශාව තියෙන්නෙ යුරෝපය දෙසටයි. ඒ ෆැන්ටසියට අපි බොරු කරන්නෙ නැහැ.

විදර්ශන කන්නන්ගර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.