Latestදේශීයමතවාදවිශේෂාංග

දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටය සහ සාහිත්‍ය කෘතිය පිළිබද පසු වදනක්

හැත්තෑපස් වසරක දේශීය සිනමාවේ චිත්‍රපට කිහිපයක් අරබයා වට වපසරිය විමර්ශනය කරමින් සිනමා සාහිත්‍ය කෘති කිහිපයක් මේ වන විට බිහිව ඇතත් තිරගත වූ සිනමා කෘතියක සියලු පාර්ශවයන් ඉතාමත්ම නිරවුල්ව , විධිමත්ව , විස්තරාත්මකව සහ විමර්ශනාත්මක විග්‍රහයකට ලක් කර බිහිවූ පරිපූර්ණ සිනමා සාහිත්‍ය කෘතිය දැකලා පුරුදු කෙනෙක් සිනමා සාහිත්‍යය කෘතිය බව මගේ අදහසයි.

මෙරට හරිහමන් විදිහට චිත්‍රපට සංරක්ෂණ කටයුත්තක් නොමැති පසුබිමක කවර හෝ හේතු උඩ මෙම මෙම සිනමා කෘතිය යළි නැරඹීමට මෙරට  වැසියන්ට අහිමිව ගියත් මෙම නිර්මාණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීම සඳහා මහඟු වටිනාකමෙන් යුතු සිනමා සාහිත්‍ය කෘතියක් ලෙස මෙම සිනමා සාහිත්‍ය කෘතිය සිනමා  සාහිත්‍යයේ පවතිනු ඇත  . මෙරට සිනමාවේ හොඳයි කියලා කටපුරා කියන්න පුළුවන් චිත්‍රපට අරබයා මෙබඳු සාරගර්භ කෘති බිහි වූයේ නම් කෙතරම් අගනේද ?.

මෙම සිනමා සාහිත්‍ය කෘතියේ චිත්‍රපටයේ තිර රචනය , නිෂ්පාදනය හා ආබද්ධ තොරතුරු,  චිත්‍රපටියේ නිශ්චල ඡායාරූප,  පුවත්පත් හා වාර සඟරාවල පළවූ පළවූ විචාර හා සංවාද සහ මුහුණු පොතේ සටහන් වැනි අංශ රැසක් ඇතුළත්ව තිබේ. 

මෙම චිත්‍රපට විචාර එක දිගටම මා කියවාගෙන යද්දී සිනමා විචාරකයන් සචිත්‍ර හා දිනිති අරබයා ඉතාම වැදගත් නොයෙක් අදහස් පළ කරන බව මට වැටහුණි.  මධ්‍යස්ථව සිටීමට වෙර දැරූ ඇතැම් සිනමා විචාරකයන් පවා පීල්ලෙන් පිට හොරෙන් රහසින් දිනිතිට පක්ෂපාත වූ අවස්ථාද මට හසු නොවුණා නොවේ.  ඔවුන්ගේ ඇතැම් අදහස් මත සචිත්‍ර ගෙදරට තනි දොරක් දැමීමත් ,ඔහු සාම්ප්‍රදායික පටු අදහස් දරන පුද්ගලයකු ලෙස හඳුන්වාදීමට  ගන්නා උත්සාහයත් මගේ අවධානයට හසු වුණි .

සචිත්‍ර දිනිති අරභයා රැකවල් දමන්නේ නිස්කාරණේ නොවෙයි.  සචිත්‍රට දිනිති ගැන සැක කිරීමට හේතු සාධක තත්වයන් ඇති කළේ ඇයමයි.  සචිත්‍ර තම දියණියට මවක් අවශ්‍ය බව පැවසීමත්,  පවුල රැකගැනීමේ අවශ්‍යතාවය නිරන්තරව ඔහු කෙරෙහි  දැල්වී තිබීමත් මත ඔහු තවදුරටත් මුරකාවල් තර කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ . මෙය නිවැරැදි දැක්මට හසු කරගැනීමට නම් ඔබටත් මොහොතක් සචිත්‍ර බවට පත් විය හැකිය . විවාහ වන විටත් කන්‍යාභාවය කවර හෝ හේතුවක් උඩ අහිමි කරගෙන සිටි ඉක්බිතිව පර පුරුෂයකු සමඟ ඇසුරක් පැවති බව තහවුරු කරගත් පසු,  නිවසට වී රහසින් දුරකථනයන් තොදොල් වන බිරියක් සිටින පසුබිමක මේ සැමියා  තවදුරටත් රැකවල් තර නොකර සිටින්නේ කෙසේද ?

අනුන්ගේ සෑම ප්‍රශ්නයක්ම මැනවින් තේරුම් ගැනීමට එය ඔබේ  ප්‍රශ්නයක් කරගන්න යැයි බුදුන් වහන්සේ දේශනා කර තිබේ. මෙහිදී ඔබ සචිත්‍ර බවට පත් වන්නේ නම් දිනිති කෙරෙහි මෙයට වඩා ලිහිල් ප්‍රතිචාරයක් දක්වන්නේ ද ? ඔබ සචිත්‍ර වන්න ඔබේ බිරිය දිනිති කරගන්න . සචිත දිනිතිට ආදරය නොකරන බවක් මේ චිත්‍රපට පුරා අපට කිසිදු තැනක  හමු නොවේ . දිනිති සචිත්‍රගෙන් සෙනෙහස   ඉල්ලන්නේ නිසි තැන සිට නොවේ.   එය අප්‍රාණවත් මග් එකක් සමග කරන ගනුදෙනුවෙන්  මැනවින් පසක් වෙයි .

මා මේ කෘතියේ ඇතුළත් විචාර ලිපි අතර ඉතා බරසාර අදහස් දුටිමි . මෙරට සිනමා විචාරයේ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළ ප්‍රබල විචාරකයන් රැසක් මෙහි ලිපි ලියා තිබේ . මේ මෙම ලිපි වල සචිත්‍ර සහ දිනිතිට වෙන් කර ඇති ඉඩ වපසරිය පරිද්දෙන්ම මලිත් සහ භූපති සඳහාද  ලොකු ඉඩක් වෙන් වී තිබෙන බව මට පෙනේ. මලිත් ගේ අධ්‍යක්ෂණය තරමටම භූපති ගේ තිරරචනය ඇති වැදගත්කම ද විචාරකයන්ගේ අවධානයට ලක් වී තිබෙයි. භූපති අපට හමුවන්නේ කලා විචාරකයෙක් විදිහටයි.  ඇත්ත වශයෙන්ම ඔහුගේ ලිපි සංකීර්ණයි . ඒත් මේ භූපති මේ සියලුම දේ පැත්තකින් තියලා බුද්ධිමත් රසිකයෙකුට විඳින්න පුළුවන් විදිහේ රහක් තියන තිර රචනයක්  මලිත්ට ලියා දී තිබෙන බව අපට පෙනෙනවා .මේක භූපතිගේ  සංස්කෘතික ජීවිතයේ  වැදගත් හැරවුම් ලක්ෂයක් .

දැකලා පුරුදු කෙනෙක් මලිත්ගේ  පළමුවෙනි සිංහල චිත්‍රපටිය .මලිත් බූපති ගේ තිර රචනයෙන්   හරවත් , සරල තරමට ම ගැඹුරු වැදගත් චිත්‍රපටයක් ඉදිරිපත් කර තියනවා . මලිත්ට  සමකාලීනව චිත්‍රපටකරණය ට බැහැපු තරුණ පන්තිය බොහෝවිට කරන්නේ නොයෙක් ශිල්ප හරබ පෙන්නලා අර කවුදෝ පිරිසක් කියනවා වගේ විදෙස් චිත්‍රපට උළෙල වලට ගැලපෙන නිර්මාණයක් බිහි කරන එක . මලිත් ඒ මගේ ගිහිල්ලා නැහැ. ඔහු  රැල්ල ට ගිය තරුණයෙක් නෙමෙයි. මලිත් බිහිකර තියෙන්නෙ වෙනස් විදිහක විදග්ධ සිනමා කෘතියක් .

මේක මේ රටේ බුද්ධිමත් සිනමා රසික පරපුරට කළ සිනමා සංග්‍රහයක්. නමුත් මලිත් තවදුරටත් සිංහල චිත්‍රපට කරනයේ යෙදෙන පසුබිමක් අපට පෙනෙන්නේ නැහැ . මේ රටේ සිනමාවට පැමිනෙන නව තරුණ පන්තියට අවංකව අතහිත දෙන දේශපාලන නායකත්වයක් මේ රටේ අද බිහි නොවීම ඛේදවාචකයක්.  මේ අඳුර හෙට දවසේ තවත් තිව්‍ර වේවි.

මේ කෘතියේ ඇති ෆේස්බුක් විචාරද මගේ කියවීමට හසු වුණි . ඉන් බොහෝ දෙනකුගේ අදහස් පුවත්පත් සහ සඟරාවල පළ වූ හරවත් අදහස් වලට වඩා වෙනස් මගක ගිය බවයි මා දැක්කේ. සමහර අදහස් යන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. සිනමාව තියා පවුල් සංස්ථාව පිළිබඳ වත් , පවුල් සංස්ථාව යනු කවරක්ද පිළිබඳවත් අල්ප දැනුමක් නොමැති පිරිසක් කතා කිරීම්වල යෙදී තිබෙන බව මම දැක්කා. ලංකාවේ උසාවිවල දික්කසාද නඩු ගොඩ ගැහෙන එක පුදුමයක් නෙවෙයි .ෆේස්බුක් වල ලියවෙන්න සිනමා විචාර නෙවෙයි අදහස් සමූහයක් කියලා ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම කියන එක බොරුවක් නෙවෙයි කියලා මේ ෆේස්බුක් විචාර බහුතරයක් කියවද්දී යමෙකුට තේරෙනවා.  මෙහි ඇති ඇතම් අදහස් චිත්‍රපටය අන්තර්ගතයට අතිශය හානිකරයි .ඒවා කිසිදු විචාරාත්මක අදහසක් නැහැ.

දැකලා පුරුදු කෙනෙක් අහස ප්‍රකාශනයක්. මෙහි මිල රුපියල් 1500 යි. සිනමා සාහිත්‍ය කෘතියක් විදියට ඉතාම වැදගත් වටිනා ග්‍රන්ථයක් බවයි මගේ අදහස .

ජීවන්ත දයානන්ද

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?