අන්තරයේ මූළිකත්වයෙන් “කට වැසීමට එරෙහිව” පළල් පෙරමුණක්

කට වැසීමට එරෙහිව හඩ නගමු යන මැයින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ මහජන සභාව ඊයේ (11) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වුනා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගතකොට දින 50ක් පසුව ඇති වටපිටාවක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ සහ භාෂණයේ නිදහස සමස්ත සමාජයටම අහිමි වී ඇති බව මෙම මහජන සභාව තුළ අවධාරණය විය.

තවද මෙම අවස්ථාවට එක්වූ වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන නියෝජිතයින් අවධාරණය කළේ දිගින් දිගටම සිදුවෙමින් පවතින ආන්ඩුවේ මර්ධනයට එරෙහිව අඛණ්ඩව  සටන් කිරීම හැර අන් විසදුමක් නැති බවයි. වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු අනීතිකව අත්අඩංගුවට ගත් සියලුම අරගලකරුවන් නිදහස් කරගැනීම සදහා ඉදිරි කාලයේ උපරිමයෙන් ක්‍රියා කරන බව සියලු කතිකයින් මෙහිදී දැඩිව අවධාරනය කළා.

මෙම මහජන සභාව විසින් සිංහල සහ දමිළ බසින් ප්‍රතිඥාවක් ලබා දුන් අතර එහි සිංහල ප්‍රතිඥාව පහතින්,

ත්‍රස්ත පනත යටතේ සිරගත කළ වසන්ත, සිරිධම්ම හිමි නිදහස් කරගැනීම උදෙසාත් – රනිල්, රාජපක්ෂ ජුන්ටාවේ තිරශ්චීන මර්දනයට එරෙහිවත් අරගලයේ ජනතා අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම පිණිසත් කොන්දේසි විරහිතව, ධෛර්ය සම්පන්නව, අඛණ්ඩව අරගල කරන බවට ලබා දෙන ජනතා ප්‍රතිඥාවයි!

ගෙවුණු 74 වසරක කාලය තුළ පාලකයන් විසින් බරපතල සමාජ, දේශපාලන, ආර්ථික අර්බූදයකට මෙරට වැසියන් ගොදුරු කරන ලදී. ජීවත්වීම තව දුරටත් අභියෝගයක් පමණක්ම වූ තැන පීඩනයට එරෙහිව අරගල කිරීම හැර වෙනත් විකල්පයක් ජනතාවට ඉතුරු වූයේ නැත. ආර්ථික හා දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කරමින් පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ වූ ජනතා අරගලය පාලකයන් විසින් ජනතාව මත හෙළූ පීඩනයේ නොවැළැක්විය හැකි පුපුරා යාමකි. ජනතාව විසින් ඉදිරිපත් කරන දේශපාලන හා ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම විනා ඔවුන් මත මර්දනය හෙළීමෙන් පීඩනය අවසන් වන්නේ නැත. නමුත් කිසිදු ජනතා අනුමැතියක් නොමැතිව බලය හොබවන වත්මන් පාලනය අතිශයින් සාධාරණ ආර්ථික හා දේශපාලන ඉල්ලීම් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ජනතා අරගලය මර්දනයෙන් යටපත් කර දැමීමට උත්සාහ කරමින් සිටියි. අරගලයේ සක්‍රීය භූමිකාවක් ඉටු කළ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින්, පැහැරගනිමින්, පහර දෙමින්, බියවද්දමින් ම්ලේච්ඡ රාජ්‍ය ත්‍රස්තවාදයක්, භීෂණයක් මුදාහරිමින් සිටියි. ම්ලේච්ඡත්වයට එරෙහිව හඬ නඟන අරගලකරුවන් පුනරුත්ථාපනය කළ යුතු බව කියමින් අණපනත් සම්මත කරගෙන තිබෙයි.

ක්‍රියාත්මක වූ ජනතා අරගලයේ විශේෂ භූමිකාවක් ඉටු කළ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි හා කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන් ජීවන්ත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කිරීම මෙම මර්දනයේ තීව්‍රතම අවස්ථාවයි. අත්අඩංගුවට ගැනීමෙන් දින පනහකට පසු අධිකරණයට ඉදිරිපත් කළ හෂාන් ජීවන්ත කිසිඳු චෝදනාවකින් තොරව නිදොස් කොට නිදහස් වූ අතර වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් තවදුරටත් අධිකරණයක් හමුවට ඉදිරිපත් නොකොට ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ තංගල්ල බන්ධනාගාරයක රඳවා තබාගෙන සිටියි.

රනිල් – රාජපක්ෂ හවුල ජනතාව මර්දනය කරමින් රටම එළිමහන් සිරකඳවුරක් කරන්නට පිඹුරුපත් සකස්ක රන්නේ අරගලය මගින් ජනතාව යළි අත්පත් කරගත් පරමාධිපත්‍ය බලය සංවිධානය වීම පිළිබඳ ඇති බිය හේතුවෙනි. ගෝඨාභය රාජපක්ෂ පලවා හරිමින්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ තුනෙන් දෙකක බලයක් හෙබ වූ ආණ්ඩුවක් පලවා හරිමින් ජනතාවගේ බලය පිළිබඳ, ජනතාව තුළ ඇති කරගත් අවබෝධය හා විශ්වාසය අරගලයෙන් මෙතෙක් ලැබූ දැවැන්තම ජයග්‍රහණ යයි. එම ජයග්‍රහණය හමුවේ පාලකයන් වෙවෙලුම් කා ගොස් ඇත. මර්දනය එහි නිවට ප්‍රකාශනයකි. නමුත් අරගලයෙන් අපේක්ෂා කළ ජයග්‍රහණයන් ජනතාව තවමත් අත්පත් කරගෙන නොමැති අතර ඒ සඳහා අරගලය තව දුරටත් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා අරගලයේ දැල්වෙන අපේක්ෂාවන් යටපත් වන්නට නොදී පාලකයන්ගේ නිවට මර්දනය පරාජය කිරීම අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.

එහෙයින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම්භාරයට පත්කර සිටින වසන්ත මුදලිගේ, ගල් වැව සිරිධම්ම හිමි වහා නිදහස් කරන තුරුත්, ජනතාව ත්‍රස්තවාදීන් බවට පත් කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන තුරුත් පුනරුත්ථාපනය මුවාවෙන් සටන් වදින ජනතාව හීලෑ කර ගැනීම සඳහා ගෙන එන පුනරුත්ථාපන පනත වැනි සියලු මර්දන පනත් හකුළා ගන්නා තුරුත්, අත්අඩංගුවට ගත් සියලු අරගල කරුවන් වහා නිදහස් කරන තුරුත්, ආණ්ඩුවේ නිවට මර්දනය පරාජය කරන තුරුත්, අරගලයේ ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරන තුරුත් රට පුරා අප මැදිහත්වන සියලු ස්ථාන වල, සියලු ක්‍ෂේත්‍රයන්හි කොන්දේසි විරහිතව, ධෛර්යමත්ව, අඛණ්ඩව අරගල කරන බවට මෙලෙස ප්‍රතිඥා දී සපථ කර සිටිමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *