Latestදේශීය

PTA පරාජය කරනවා, ආන්ඩුව අනිවාර්යයෙන්ම පන්නනවා – ටෙරන්ස් රොද්‍රිගෝ

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගනිමින් අනීතිකව අත්අඩංගුවට ගෙන රදවා සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරගැනීමේ සටන තවත් තීව්‍ර කරනවා විනා ආන්ඩුවේ න්‍යායපත්‍රයට අනුගත වීමට කිසිසේත්ම සූදානම් නැති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු ටෙරන්ස් රොද්‍රිගෝ මහතා පවසනවා.

පසුගිය 18 වනදා ආන්ඩුවේ ඔත්තු‌ සේවා මෙන්ම රනිල් රාජපක්ෂගේ, ටිරාන් අලස්ගේ සහ දේශබන්දු තෙන්නකෝගේ න්‍යාය පත්‍රයන්ට අනුව නැටවෙන ආරක්ෂක අංශ එහේ මෙහේ දුවමින් කොළඹ නගරය පුරා ක්‍රියාත්මක වුනු උද්ඝෝෂණය සහ එහි ආකෘතිය තේරුම් ගැනීමට නොහැකිව අසරණවූ බව පවසන ටෙරන්ස් රොද්‍රිගෝ මහතා වැලිකඩ බන්ධනාගාරය අසල පැවති උද්ඝෝෂණය යනු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කරගැනීමේ සටනේ එක් පියවරක් පමණක් බව ද පවසනවා.

රටේ ජනතාවගේ මූළික අයිතිවාසිකම් සපුරාලීමට නොහැකි රනිල් රාජපක්ෂ ආන්ඩුව මර්දනයෙන් තම අරමුණු ඉටුකරගැනීමට උත්සාහ කළත් නියත වශයෙන්ම ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය පෙරලා දමන බවද ඔහු අවධාරණය කරනවා.

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපායර මෙන්ම සටන් කරන බලවේග හමුවේ ආන්ඩුවේ උත්සාහයන් නියත වශයෙන්ම පරාජයට පත් වන බව පවසන රොද්‍රිගෝ මහතා ආන්ඩුව දණ ගැස්සවීමට අදාල මොහොත කාලය සම්බන්ධ කාරණයක් පමණක් බවද පවසනවා.

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් අනීතිකව අත්අඩංගුවට ගෙන දින අනූවක් ගතවුව ද මේ වනතෙක් සාධාරණ සැකයෙන් තොර කිසිදු චෝදනාවක් ඔවුන්ට එරෙහිව ගොනු කිරීමට නොහැකි වීම තුළම ආන්ඩුවේ කූඨ උපක්‍රමයන් ජනතාවට හෙළිදරව් වී ඇති බවද පවසනවා.

ආන්ඩුව තම දූෂිත මෙන්ම අසාර්ථක උත්සාහය ව්‍යර්ථව ගිය වටපිටාවක නීතිපතිවරයා හරහා වසන්ත සහ සිරිධම්ම හිමියන් හිරකිරීමට උත්සාහ කළත් මේ වන විට රටම නීතිපතිවරයාගේ ක්‍රියාදාමය දෙස උවමනාවෙන් බලන් සිටින බවද පවසන ටෙරන්ස් රොද්‍රිගෝ මහතා රටේ ජනතාවගේ යුක්තිය සහ මූළික අයිතිවාසිකම් රැකීමට වගකීමෙන් බැදී සිටින නීතිපතිවරයා වත්මන් ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සදහා දායක නොවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද පවසනවා.

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් ඇතුලු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මගින් අනීතිකව රදවාගෙන සිටින සිංහල, දමිළ. මුස්ලිම් සියලුම සිරකරුවන් නිදහස් කර ගැනීමේ සටන ඉදිරියේදී තව තවත් පණපොවමින් ආන්ඩුවේ මර්දනයට ශක්තිමත්ව මුහුණ දෙන බව පවසන ටෙරන්ස් රොද්‍රිගෝ මහතා එළඹෙන කාලය යනු ආන්ඩුවට කිසිසේත්ම හොද කාලයක් නොවන බවත්, ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් හමුවේ ආන්ඩුවට නිදහසේ කටයුතු කරන්නට කිසි සේත්ම ඉඩ නොදෙන බවත් අවධාරණය කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?