Latestදේශීය

නෙදර්ලන්ත තෑග්ගක් – රුපියල් මිලියන 4500ක වෛද්‍ය මධ්‍යස්ථානයක් උතුරට

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් 2017 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස අද ජනතා අයිතියට පත් කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී උතුරු පළාතට නවීන රෝහල් සහිත සෞඛ්‍ය පහසුකම් ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරේ සෞඛ්‍ය සේවාව දියුණු කිරීම තම අරමුණ බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාන්කුලම් මූලික රෝහලේවෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (26) එක් වෙමිනි.

නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 4500 ක වියදමින් යුතුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මෙය වන අතර මානසික වෛද්‍ය පුනරුත්ථාපන ඒකකයක්, හදිසි අනතුරු ඒකකයක්,ශල්‍යාගාරයක්, රසායනාගාරයක්, විකිරණ ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා දැඩි සත්කාර ඒකකයකින් මෙය සමන්විතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් මහත්මිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද මෙම වෛද්‍ය ඒකකය විවෘත කරන අවස්ථාවේදී මෙහි පසුබිම පිළිබඳ සඳහන් කළයුතුයි. යුද්ධය නිසා උතුරු පළාතේ නැවතුන සේවාවන් යළි නගා සිටුවීමේ මූලික කටයුතු 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු එවකට පැවති රජය විසින් ආරම්භ කළා.

එම පළමු අදියරේ වැඩකටයුතු අවසන් වු නමුත් මෙම සියලු අංශවල ඉදිරි ගමන වෙනුවෙන් දෙවන අදියරක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් නව වෛද්‍ය ඒකක ඇති කිරීම සඳහා මම අග්‍රාමාත්‍යවරයා ලෙස නෙදර්ලන්ත රජය සමග සාකච්ඡා කළා. එම අවස්ථාවේ උතුරු පළාත් සභාවේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙම කටයුතු සමඟ සම්බන්ධ වුණා.

යුද්ධයට පෙර, කොළඹට පසු හොඳම සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ යාපනයයි. බස්නාහිර පළාත දියුණුවිමත් සමඟ දකුණු පළාත සහ මධ්‍යම පළාත දියුණු වුණා. මගේ අරමුණ වන්නේ උතුරු පළාතද නැවත එම තත්ත්වයට ගෙන ඒමයි. මෙම රෝහල් පිළිබඳ විශේෂ උනන්දුවකින් යුතුව කටයුතු කරනු ලබන්නේ ඒ නිසයි.

ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කර ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලක් ඉදිකිරීම වෙනුවෙන් 2017 වසරේ දී මා අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් වෙන් කළා. අද මෙම විවෘත කිරීම සඳහා සහභාගිවීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මම ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු මෙම වැඩකටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට දැනුම් දුන්නා. දැන් උතුරු පළාත තුළ නවීන රෝහල් තිබෙනවා.

යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා. ඒ වගේම මන්නාරම රෝහල දියුණු කිරීමටත්, වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමටත් කටයුතු කරනවා. රාගම රෝහලට පසුව මෙම නවීන යන්ත්‍රෝපකරණ තිබෙන එකම රෝහල මාන්කුලම රෝහල බවද සඳහන් කළ යුතුයි

රාගම රෝහල ආරම්භ කළේ යුද්ධය නිසා ආබාධිත වූ පිරිස වගේම මානසික ගැටළු තිබූ අය වෙනුවෙන් සත්කාර කිරීමටයි. යුද්ධයෙන් පීඩාවට පත් වූ මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙනුත් රාගම රෝහල වැනි නවීන රෝහලක් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා.

මෙම උතුරු පළාතට හිමි වූ රෝහල් ඒකක 04 සතුව තිබෙන උපකරණ ලංකාවේ බොහෝ රෝහල්වල නැහැ. මෙම උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි. ඒ වෙනුවෙන් රෝහල් පරිපාලනය සහ රෝහල් කළමනාකරණයේ මූලිකත්වය ගත යුතුයි. කියුබාව රටක් ලෙස සෞඛ්‍ය සේවාවන්වලදී ඉදිරියෙන් සිටින්නේ රෝහල් පරිපාලනය සහ කළමනාකරණය හොඳ මට්ටමක පවතින නිසයි. එම නිසා රෝහල් කළමනාකරණය සහ පරිපාලනය උසස් තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ආසියානු සංවර්ධන අරමුදල මඟින් ප්‍රතිපාදන ලබා ගත හැකියි.සුභවාදී සෞඛ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම මෙම සෑම කටයුත්තක් තුළින්ම අප බලාපොරොත්තු වන බව ද කිවයුතුයි.

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා,

නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන හාරදහස් පන්සියයක වියදමින් මාන්කුලම් රෝහලේ ඉදි කළ වෛද්‍ය පුනරුත්තාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය පහසුකම් සපුරා ගැනීම සඳහා විශාල පිටිවහලක් වෙනවා. යුද්ධයෙන් පීඩා විඳි ජනතාව වෙනුවෙන් මෙවැනි පහසුකම් සළසා දෙමින් සිදු කරනු ලබන සේවාව වෙනුවෙන් නෙදර්ලන්ත රජයටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපගේ ස්තූතිය පිරිනමනවා.

රට අභියෝග රැසකට මුහුණ පා සිටි අවස්ථාවක එම අභියෝගවලින් රට මුදා ගැනීම සඳහා ‍ ජනාධිපතිතුමා එදා නොබියව ඉදිරිපත් වුණා. එදා මේ රට පත්ව තිබූ තත්ත්වය ජනතාවට අමතක වී නැතැයි මා විශ්වාස කරනවා. ඒ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජනාධිපතිතුමා කැප වී කටයුතු කළා. එහි ප්‍රතිඵල ‍අද මේ රටේ ජනතාව භුක්ති විඳිනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය,

අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ ගත කරන තුන්වන දිනයයි. මේ දින තුන පුරාම උතුරු පළාතේ සංචාරය කරමින් ‍ජනතාව මුහුණ දෙන ගැටළු සියැසින් දැක ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාට අප ස්තූති වන්ත වෙනවා. අද එතුමා අතින් විවෘත කෙරෙන මෙම වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝචිකිත්සක සංවර්ධන මධ්‍යස්ථානය DRIVE ව්‍යාපෘතිය යටතේ විවෘත වූ තුන්වන රෝහලයි.

මෙය උතුරු පළාතේ සෞඛ්‍ය සේවයේ සන්ධිස්ථානයක් බවට පත් වන බව විශ්වාසයි. මෙම ව්‍යාපෘතිය සැබෑවක් බවට පත් වන්නේ ජනාධිපතිතුමාගේ උනන්දුව, කැපවීම සහ ධෛර්‍යමත් බව නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2017 වසරේ යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ දී මෙම ව්‍යාපෘතිය උතුරු පළාතට ලබා ගත් බව සිහිපත් කළ යුතුයි.

ඒ අනුව මාන්කුලම් රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝචිකිත්සක සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම තුළින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කර තිබෙනවා. එදා අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ මෙම වැඩකටයුත්ත අද ජනාධිපතිවරයා ලෙස විවෘත කිරීමට එතුමාට හැකි වී තිබෙනවා. එසේම සෞඛ්‍යය ක්ෂේත්‍රය පමණක් නොව අනෙකුත් සියලුම ක්ෂේත්‍ර කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබීම විශේෂත්වයක් වනවා.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නෝගරාදලිංගම් මහතා,

මේ ප්‍රදේශයේ තිබෙන රෝහල්වල පැවති පහසුකම් ප්‍රමාණවත් වූයේ නැහැ. එවන් පරිසරයක් යටතේ අද මෙම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට පියවර ගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට මගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම අනෙකුත් රෝහල්වලටත් අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් මේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලිය හැකියි. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මා ඉල්ලා සිටිනවා.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා,

අද විවෘත වූ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සක සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය උතුරු පළාතටත්, වන්නි දිස්ත්‍රික්කයටත් විශාල සම්පතක් වන අතර එය ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.

මෙම වටිනා සම්පත අප විධිමත්ව පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. මේ වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හො බැක් මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

@මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?