Latestක්‍රීඩා

ඉන්දියාවට පහසු ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් සහභාගිවූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රිකට් පිල ඊයේ සමත් විය.

‘ඒ’ කාණ්ඩය යටතේ නිව්යෝර්ක් නුවර නසාවු ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය රැස් කළ ලකුණු 96ක ඉලක්කය හඹා ගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 46ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි. මේ ජය සමඟ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වූ අතර, සම සත්කාරකයන් වන අමෙරිකාව දෙවැනි ස්ථානයේ සිටී.

නායක රෝහිත් ශර්මා සමඟින් ඉනිම ඇරඹූ විරාට් කෝලි එක් ලකුණකට දැවී ගිය අතර, ශර්මා හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ පන්දු 37කින් ලකුණු 52ක් රැස් කිරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගියේය. දැවී ගිය දෙවැනි පිතිකරු බවට පත්වූ සූර්යකුමාර් යාදව්ට රැස් කළ හැකි වූයේ ලකුණු 2ක් පමණි. රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 36ක් ඉනිමට එක් කළේ පන්දු 26කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟිනි.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණු අතර, ගැරත් ඩෙලනි පන්දු 14කින් ලකුණු 26ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පසුගියදා නිමාවූ අයිපීඑල් තරගාවලියේදී අසාර්ථකවූ හර්දික් පාණ්ඩ්යා කඩුලු අතරට පිවිසෙමින් ඕවර 4කදී නිලකුණු ඕවරයක් ද සමඟ ලකුණු 27කට කඩුලු 3ක් බිඳ දැම්මේය. ජස්ප්‍රීට් බුම්රා ලකුණු 6කට කඩුලු 2ක් සහ අර්ෂ්දීප් සිං ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්හ. ඕවර 3කදී නිලකුණු ඕවරයක් ද සටහන් කළ බුම්රා තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ඉන්දීය පිලේ මීළඟ තරගය ලබන ඉරිදා (9) පාකිස්තානයට එරෙහිව මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර, අයර්ලන්ත පිලේ දෙවැනි තරගය හෙට (7) කැනඩාවට එරෙහිවත් මේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අයර්ලන්තය – 96 (ඕවර 16) ගැරත් ඩෙලනි 26 (හර්දික් පාණ්ඩ්යා 27/3, ජස්ප්‍රීට් බුම්රා 6/2, අර්ෂ්දීප් සිං 35/2)

ඉන්දියාව – 97/2 (ඕවර 12.2) රෝහිත් ශර්මා 52, රිෂාබ් පාන්ට් නොදැවී 36

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?