Latestදේශීය

පොසොන් සමයේ අනුරාධපුරට අතිරේක බස්රථ 400ක්

පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව හාරසියයකට (400) වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කළේය. ඓතිහාසික අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ඇතුව මෙවර පොසොන් සමයේ අමතර බස්රථ හාරසීයක් යෙදවීමට කටයුතු කරන බව ද සභාපතිවරයා පැවැසීය.

අනුරාධපුර ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලයේදී පෙරේදා (08) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවැසු සභාපතිවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

“මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත්වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාව මඟහැරීම සඳහා මීට පෙර වර්ෂවලදී පැවැති පොසොන් මංගල්‍යය සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනවා.

අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු පොසොන් කමිටුවේ සිදු කළ සාකච්ඡා අනුව කාර්ය මණ්ඩල යෙදවීම, අතිරේක බස් රථ යෙදවීම සහ අතිරේක බස් රථ ගාල් කිරීම පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම හදිසි සම්පාදන අවස්ථා හා අනතුරු සම්බන්ධයෙන් රජරට ප්‍රාදේශිකයේ ප්‍රධාන ධාවන කළමනාකාරතුමාගේ නායකත්වයෙන් මූලිකත්වයෙන් මේ කාලය තුළ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම අවශ්‍ය වන ප්‍රථමාධාර කටයුතු සුබසාධන කටයුතු ඇතුළු විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා. එම වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කළහොත් අපි බලාපොරොත්තු වන ආදායම් ඉලක්ක වගේම බැතිමතුන්ට හා අනෙකුත් මගීන්ට අපි සැලසීමට කටයුතු කරන සේවා කටයුතු ඉහළ මට්ටමක පවත්වාගත හැකියි කියා විශ්වාස කරනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලන සහ මෙහෙයුම් වියදම් අවම කර ගැනීම සඳහා පෞද්ගලික අංශයත් සමඟ කටයුතු කරනවා. කෙසේ වෙතත් මැදවච්චිය ප්‍රාදේශික වැඩ පොළෙහි ටයර් පෙරසවි කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට අවශ්‍ය අනුමැතිය සඳහා සැලසුම් මේ වනවිට විට සකස් කරමින් පවතිනවා.

මේ වන විට ලංගම ඩිපෝවල ගාල්කර ඇති ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථ 900-1000 ත් අතර ප්‍රමාණයක් පවතින අතර එම බස්රථ ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදිරි මාස කීපයක දී වෙන්දේසි කිරීමටත් ඒ වෙනුවෙන් නව බස්රථ දහසක් (1000) මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

2022 වර්ෂය අවසාන වන විට රුපියල් මිලියන හාරසීය අසූපහක පමණ ලාභයක් ද 2023 වර්ෂයේ දී රුපියල් මිලියන එක්දහස් අනූඅටක පමණ ලාභයක්ද ලංකා ගමනාගමන මණ්ඩලය විසින් උපයා ඇති බවත් එය මෙම වර්ෂයේ දී රුපියල් මිලියන දෙදහස දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වනවා.

වර්තමානයේ උද්ගතව ඇති දුම්රිය වැඩ වර්ජනය හමුවේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පිට ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන සේවකයන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමටත්, ඒ අනුව සෑම දුම්රිය ස්ථානයක්ම අධීක්ෂණය කර අවශ්‍ය පරිදි බස් රථ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් මත මේවනවිට ලංකා ගමනාගමන මණ්ඩලය අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා”

මෙම අවස්ථාවට අනුරාධපුර, වයඹ හා මහනුවර ප්‍රාදේශිකවල ප්‍රධාන කළමනාකාරවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

@ දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?