Latestක්‍රීඩා

පෙරළිකාරම කණ්ඩායම – ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත්ව සිටින ඇෆ්ගනිස්තානය ඊයේ (25) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට එක්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

තරගාවලියේ 52 වැනි සහ සුපිරි 8 වටයේ අවසන් තරගය ලෙස බංග්ලාදේශයට එරෙහි පැවැති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 8කින් ජය ගනිමින් ඇෆ්ගනිස්තානය මේ අවස්ථාව උදා කර ගත්තේය. මේ සමඟ අවසන් වටයේ බලාපොරොත්තු අත්හැර ගැනීමට ඔස්ට්‍රේලියාවට සිදු විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 115ක් රැස් කළ අතර, තරගය වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව බංග්ලාදේශයට ඕවර 19කදී ලකුණු 114ක ඉලක්කයක් හිමි විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට ඕවර 17.4ක් තුළ සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 105ක් පමණයි.

ලිටන් දාස් නොදැවී ලකුණු 54ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට හුදෙකලා සටනක නිරත වුවද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් ඔවුන්ට පරාජය අත්විය.

ඇෆ්ගන් පන්දු යවන්නන් හමුවේ දාස් හැර ලකුණු 10 සීමාව පසු කළ හැකි වූයේ තව්හිද් හිරිඩෝයි (14) සහ සෞම්‍යර් සකාර් (10)ට පමණි. පන්දු යැවීමේදී නායක රෂීඩ් ඛාන් සහ නවීන් උල්හක් කඩුලු 4 බැගින් බිඳ දැමීමට සමත් වූහ.

මේ තරගයේදී රෂීඩ් ඛාන් වාර්තා අතරට එක්වූයේ විස්සයි20 පිටියේ වේගවත් කඩුලු 150 සීමාවට පිවිසි පන්දු යවන්නා ලෙසිනි. එමෙන්ම රෂීඩ් සහ නවීන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක එකම තරගයක පන්දු යවන්නන් දෙදෙනකු කඩුලු 4 බැගින් දවාගත් සිවුවැනි අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය. ඉන් අවස්ථාව 3කටම රෂීඩ් එක්ව සිටීම විශේෂත්වයකි.

මින් පෙර 2007දී උමර් ගුල් (25/4) සහ ශහීන් අෆ්රිඩි (19/40), 2021 වසරේදී මුජීබ් රහ්මාන් (20/5) රෂීඩ් ඛාන් (9/4) සහ මෙවර තරගාවලියේදී ෆසල්හක් ෆාරුකි (17/4) සහ රෂීඩ් ඛාන් (17/4) මේ වාර්තාව තබා තිබිණි.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ඉනිමේදී රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 55කින් ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟිනි. ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 18ක් සහ රෂීඩ් ඛාන් නොදැවී ලකුණු 19ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී රිෂාඩ් හොසේන් කඩුලු 3ක් දවා ගත්තේය.

ඇෆ්ගනිස්තානය – 115/5 (ඕවර 20) රහ්මනුල්ලාහ් ගුර්බාස් 43, රෂීඩ් ඛාන් නොදැවී 19 (රිෂාඩ් හොසේන් 26/3)

බංග්ලාදේශය – 105 (ඕවර 17.5) ලිටන් දාස් නොදැවී 54 (රෂීඩ් ඛාන් 23/4, නවීන් උල්හක් 26/4).

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *