Latestදේශීය

වසර 3ක් යනතුරු විදුලි කප්පාදුව නවත්වන්න බැහැ – ලංවිම ඉංජිනේරු සංගමය

වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි විදුලි බලාගාරවලින් ලැබෙන සැපයුම ප්‍රමාණවත් පරිදි ඉහළ නන්වන තෙක් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) අවම වශයෙන් තවත් වසර තුනක කාලයක් යන තුරු ශ්‍රී ලංකාවට විදුලිය කප්පාදුව අත්විඳීමට සිදු වන ඇති බව ලංවිම ඉංජිනේරු සංගමය පවසයි. ඊයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ලංවිම ඉංජිනේරු සංගමයේ (CEBEU) සභාපති අනිල් රංජිත් මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනිල් රංජිත් මෙසේ පැවසීය.

රටේ පවතින විදුලි ඉල්ලුමට සරිලන පරිදි දිවයින පුරා පිහිටි බලාගාර වලින් දැනට ප්‍රමාණවත් විදුලි සැපයුමක් ලංවිම සතුව නෑ. ඉල්ලුම අඛණ්ඩව ඉහළ යනවා. නමුච් සැපයුම ඒ ප්‍රමාණයට වැඩිවෙන්න අවම වශයෙන් තවත් වසර තුනක්වත් ගතවේවි. එතෙක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව නියමිත විදුලිය ලබා දෙන්න බැහැ. විදුලිය ඇනහිටීම් දිගටම කරගෙන යාමට සිදුවෙනවා.

විදුලි කප්පාදුව තීරණය වන්නේ දවසේ ඉල්ලුම සහ අපට තිබෙන සැපයුම අනුවයි. ඉල්ලුම සැපයුමට වඩා වැඩි නම්, අපට එය සපුරාලිය නොහැකියි. එවිට අපි විදුලි කප්පාදුවකට යා යුතුයි. ඒක තමයි වෙන්නේ . වර්තමාන ඉල්ලුම දිනකට මෙගා වොට් 2,800 (MW) පමණ වෙනවා. ඒ අතරින් රාත්‍රී කාලයේ ඉල්ලුම උපරිමයි. මේ ඉල්ලුම සපුරාලන්න අපිට ප්‍රධාන වශයෙන් විදුලිය ලැබෙන්නේ ජල, තාප සහ සුළඟ ඇත්නම් සුළං බලාගාරවලින්. ගල් අඟුරු හෝ තෙල් නැත්නම් අපට විදුලිය අඛණ්ඩව දෙන්න බැහැ. අපි තාප, සුළං, LNG, ගල් අඟුරු හෝ සූර්ය බලශක්තිය හරහා අපගේ සැපයුම වැඩි කරන තුරු සහ අපගේ බලශක්ති ගබඩා කරන තුරු, විදුලි කප්පාදුව දිගටම පවතිනු ඇති. රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ඉන්ධන හිඟය නිසා අඛණ්ඩ තාප විදුලි උත්පාදනයට දැඩි බලපෑමක් ඇති වෙලා තියෙන්නේ.

මේ තත්ත්වය සමනය කිරීම සඳහා හදිසි පියවරක් ලෙස රජය විසින් රාජ්‍ය ආයතනවල වහලයේ සූර්ය පැනල ව්‍යාපෘතිය කඩිනම් කළ යුතුයි. හැබැයි ඒක අඛණ්ඩව විදුලිය ලබා දෙන්න පුළුවන් ස්ථිර විසඳමක් නෙමෙයි. රාත්‍රී උපරිම ඉල්ලුම සපුරාලීමට පාසල්වල සහ රාජ්‍ය කාර්යාලවල වහලවල සූර්ය පැනල සවි කිරීම ප්‍රමාණවත් නැහැ. දැන් මිනිස්සු හිතනවා සූර්ය පැනල සවිකිරීමෙන් මේක වළක්වන්න පුළුවන් කියලා. අපට සූර්ය බලශක්තිය ලැබෙන්නේ උදේ 9 සිට සවස 4 දක්වා දිවා කාලයේ පමණයි.

බලධාරීන් කියනවා විදුලිය විසන්ධි කිරීම වහාම නවත්වන්න පුළුවන් කියලා. එහෙම කරන්නෙ කොහොමද කියල අපිට හිතාගන්නවත් බැහැ. අපි ඉංජිනේරුවෝ. අපි කතා කරන්නේ අපිට තියෙන දැනුමෙන්. මීට පෙරත් ඇමැතිවරු මේ වගේ ප්‍රකාශ කර තිබෙනවා, නමුත් එය සිදු වුණේ නැහැ.

දැන් අදානි ව්‍යාපෘතිය පටන් ගත්තත් බලය ගන්න අවුරුදු තුනක් යනවා. එතකොටත් ඒක සුළං බලාගාරයක්, ඒ කියන්නේ සුළං තියෙන කාලෙට විතරයි විදුලිය නිපදවන්නේ. මේ බලාගාරයෙන් එන මෙගාවොට් 500 හිදිසියේ අපිට නැති වුණා කියමු. එහෙම නම්, මේ නැති වූ මෙගාවොට් 500 සපුරාලීම සඳහා අපට වෙනත් ස්ථානයක තවත් බලාගාරයක් තිබිය යුතුයි.

අපට 2022- 2041 දක්වා සැලැස්මක් තිබෙනවා. මෙම සැලැස්මේ පැහැදිලිව පෙන්නුම් කරනවා ඒ ඒ කාලවලදී කළ යුත්තේ කුමක්ද කියලා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට විදුලි කප්පාදුවලට යන්න වෙන්නේ නැහැ. ගැටළුව තියෙන්නේ ඒක වෙන්න දෙන්නෙ නෑ. රටේ ඉන්න හැමෝම හිතන්නෙ එයාලා ඉංජිනේරුවො කියලා. ඔවුන් මේ සැලසුම් වලට විරුද්ධයි. දේශපාලකයෝ මේ විෂයේ ප්‍රවීණයෝ කියලා හිතාගෙන ඉන්නවා. මේ සැලසුම්වලට විරුද්ධ වෙනවා. එහෙම වෙන්න බැහැ. රජයට වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

අඛණ්ඩ විදුලි කප්පාදුවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය අත්‍යවශ්‍ය නැහැ. විදුලිබල මණ්ඩලයට ඉල්ලුම සපුරාලීමට නොහැකි නම් ස්වයංක්‍රීයව විදුලිය විසන්ධි වෙනවා.

Lanka Views

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?