Latestක්‍රීඩාදේශීය

පැරිස් ඔලිම්පික් යන්න සූදානම්

(ප්‍රින්ස් ගුණසේකර)

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යන ක්‍රීඩකයින්ගේ හා නිලධාරීන්ගේ සියලු වියදම් රජයට බරක් නොවී ජාතික ඔලිම්පික් කමිටුව මගින් දරන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනාට අමතරව ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමනාකරු, වෛද්‍යවරු හා කණ්ඩායම් ප්‍රධානියා ඇතුළු සියලු පිරිස 15කට සීමාකොට ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතා පැවැසීය.

ඉතිහාසයේ වෙනත් සෑම ඔලිම්පික් ක්‍රීඩා උලෙළකදීම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ප්‍රතිපාදන ලබාගත්තද මෙවර ලක්ෂ ගණනක සම්පූර්ණ වියදම් ජාතික ඔලිම්පික් කමිටුව මගින් ඉටු කරන බව රජයට දැනුම්දී ඇතැයි ඔලිම්පික් මහ ලේකම්වරයා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ශ්‍රී ලංකාවෙන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සංස්කෘතික ලේකම් ඔලිවියා බෙල්මෝර් මහත්මිය ද සහභාගී වූවාය.

“ක්‍රීඩා ඇමැතිතුමාගේ නියෝග මත ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58කගෙන් යුත් සුපිරි සංචිතයක් කලක සිට නඩත්තු කළා. ඔලිම්පික් යෑමට දිරිදීමක් වශයෙන් සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලු පහසුකම් ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දුන්නේ යැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවැසීය.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට මාසිකව රුපියල් ලක්ෂය බැගින් ලබා දුන්නා. පෝෂණ දීමනාව සෑම මාසයකම රුපියල් 60000 බැගින් ක්‍රීඩා අමාත්‍යාංශය පිරිනැමුවා. පසුගිය ජනවාරි 1 සිට ජූනි 30 දක්වා සෑම විදෙස් තරගාවලියකදීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන් ප්‍රවේශ පත්‍රයේ සිට වීසා ගාස්තු, හෝටල් පහසුකම් හා තරගාවලි ඇතුළත්වීමේ ගාස්තු ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන්නා. මෙවැනි ක්‍රමවත් වැඩසටහනක් කළ පළමු අවස්ථාව මෙය බව මතක් කළ යුතුයි. අපට කළ හැකි සෑම දෙයක්ම කළා“ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ප්‍රංශයේ පැරිස් නුවරදී මේ මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ, මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න, මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන හා පිහිනුම් ක්‍රීඩාවෙන් සෘජු සුදුසුකම් නොලැබූ රටවලට ලබාදෙන ‘වයිල් කාඩ්‘ අවස්ථාව යටතේ කයිල් අබේසිංහ සහ ගංගා සෙනවිරත්න සුදුසුකම් ලබා ගත්හ. ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස සුසන්ත ප්‍රනාන්දු, ප්‍රදීප් නිශාන්ත, අසංක රාජකරුණා, මනෝජ් අබේසිංහ හා රොෂාන් නෙත්තසිංහ යන මහත්වරු ඔලිම්පික් උලෙළ උදෙසා පැරිස් නුවර බලා පිටත්වීමේ සූදානමින් පසු වෙති.

“මෙවර කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනයි. මේ කණ්ඩායම කුඩා වුණත් 4ක්ම සෘජු සුදුසුකම් ලබා ගැනීම විශේෂයි. එයින් මලල ක්‍රීඩාවෙන් තිදෙනෙකුම සිටීම පිළිබඳ මලල ක්‍රීඩා සංගමයට ස්තූති කළ යුතුයි. ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේ සිහිනයක් ඔලිම්පික් යෑම. පසුගිය කාලය පුරා ජාතික ඔලිම්පික් කමිටුව ශිෂ්‍යත්ව කිහිපයක්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දුන්නා. එ් සියලු දෙනා ජාතික සංගම් මගින් තෝරා ගත්තේ. මීළඟ ඔලිම්පික් උලෙළට ඉතාම සංවිධානාත්මකව හා ජාතික ක්‍රීඩා සංගම් සමඟ සමීපව කටයුතු කොට සෘජු සුදුසුකම් ලබන පිරිස වැඩි කිරීමට සැලසුම් කරනවා“ ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතා පැවැසීය.

පැරිස් ඔලිම්පික් ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී ජාතික ඔලිම්පික් කමිටු උප සභාපති වින්ග් කමාන්ඩර් චන්දන ලියනගේ මහතා පැවැසුවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔලිම්පික් කමිටුව අතර බැඳුම්කරයක් අත්සන් තැබීමට පියවර ගෙන ඇති බවයි. ඔලිම්පික් උලෙළ සාර්ථකව නිමා කොට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ සහතිකය එම බැඳුම්කරය මගින් සම්පූර්ණ කර ගන්නා බව ඒ මහතා පැවැසීය.

“අතීත සිදුවීම් එතරම් සුන්දර නෑ. ඒ නිසා යන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් බැඳුම්කරයට අත්සක් තළ යුතුයි. ඔලිම්පික් උලෙළට යන සියලු දෙනා රටක් නියෝජනය කරන තානාපතිවරු පිරිසක්. ඒ නිසා සියලු දෙනාටම රටේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම තිබෙනවා. අපේ කණ්ඩායම 15යි. වෙනත් කිසිදු අයෙක් ඔලිම්පික් කමිටුවේ වියදමින් ක්‍රීඩා උලෙළට යන්නේ නෑ“ ලියනගේ මහතා පැවැසීය. මෙවර ඔලිම්පික් සමාරම්භක උලෙළේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ වගකීම දිල්හානි ලේකම්ගේට හා විරේන් වෙත්තසිංහට පවරා ඇත.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *