Latestදේශීය

ශ්‍රීලනිප, සුද්දවන්නයින් වගේ කතාකරන අයගේ හොරකම් හෙළිකරනවා – මහින්ද අමරවීර

(ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය ගැන සුද්දවන්තයන් වගේ කතා කරන අයගේ සොරකම් සම්බන්ධයෙන්, කරුණුත් සමඟ ඉදිරියේදී හෙළදරව් කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය.

නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහත්වරු අතර තරමක උණුසුම් කතාබහක් ද ඇති විය.

ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය. අංගොඩ හරි වැලිකඩ හරි යන්න ඕන කියන කතාවක් මම නම් කිව්වේ නැහැ. අංගොඩ යන්න ඕන අය අංගොඩ යයි. එය ගැටලුවක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දිගින් දිගටම මහා වේදනාවකින් කතා කළාට පක්ෂය පසුගිය දිනවල භාර දුන්නේ පක්ෂයේ සාමාජිකයෙක්වත් නොවෙන කෙනකුට. අප කනගාටුවෙන් වුණත් කියන්න ඕන. මම මේ විදියට කවදාවත් කතා කරන්නේ නැහැ. මේ රටේ හිටපු ජනාධිපතිවරයකුට මම අගෞරව කරලා කතා කරන්නේ නැහැ. මේ භාරදීම් හා ක්‍රියාත්මක වීම් සම්බන්ධයෙන් අපත් කනගාටු වෙනවා. දයාසිරි ජයසේකර මහතාගේ නඩුව ගැන කීවා. දයාසිරි ජයසේකර මහතා කාටද නඩු දාලා තිබුණේ. දයාසිරි ජයසේකර අයින් කළේ කවුද? අපිද අයින් කළේ. උසාවියකට ගිහින් නඩු දාලා, නඩු දාපු අයයි විත්තිකාරයොයි එකඟව බලහත්කාරයෙන් පක්ෂයට ඇතුළු වෙන්න බැහැ. අද නිල වශයෙන් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පත් කර තිබෙනවා. නිමල් සිරිපාල මහතා සභාපතිවරයා ලෙසත් දුමින්ද දිසානායක මහතා ලේකම්වරයා ලෙසත් පත්ව තිබෙනවා. එය නීත්‍යනුකූලයි. කිසිදු අධිකරණයක් එය අභියෝගයට ලක් කර නැහැ. පක්ෂයේ කටයුතුවලට බාධා කරන්න එපා කියලා අධිකරණ නියෝගයක් දී තිබෙනවා.

සංවිධායකවරුන් හත් අටදෙනකු පත් කරගෙන ඇවිත් කරන්න ගිය දේ ගැනත් අපට කියන්න කතා තිබෙනවා. මේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 140කට වැඩි සංඛ්‍යාවක් එක්ක තමයි භාර ගත්තේ. අද වන විට පක්ෂයට අත්ව තිබෙන ඉරණම දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට අපට උසාවි යෑමට සිදු වුණා. අධිකරණ තීන්දුවලට පිටින් ගොස් අප කටයුතු කළේ නැහැ. සුද්දවන්තයන් වගේ කතා කරන අයගේ හොරකම් ගැන කතා කරන්නත් අපට පුළුවන්. අප ඉදිරියේදී කරුණුත් එක්ක ඒවා ඉදිරිපත් කරනවා.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *