Latestදේශීය

හිරුණිකාගේ ඇපෑලට නීතිපතිගේ විරෝධතා බාරදෙයි

(චන්දන ජයවීර)

තරුණයකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 15 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය පැමිණිල්ල හා විත්තිය යන දෙපාර්ශ්වයටම ඊයේ (11) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ සැමියා වන හිරාන් යටෝවිට මහතා ඇප අපේක්ෂාවෙන් අධිකරණ ශාලාවට පැමිණ සිටියහ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා විත්තිකාරිය ඇප මත මුදාහැරීමට එරෙහිව ලිඛිතව විරෝධතා ඉදිරිපත් කළේය.

වෙනත් දිනවල නීතිපතිවරයා වෙනුවෙන් ඩිෆෙන්ඩර් නඩුව මෙහෙයවූ නියෝජ්‍ය සො‍ලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙදින නඩු විභාගයට සහභාගිව නොසිටි අතර ඒ වෙනුවට එම අධිකරණයේ සාමාන්‍යයෙන් නඩුවට පෙනී සිටින රජයේ අධිනීතිඥවරයා කරුණු දැක්වීම කළේය.

1997 අංක 30 දරන ඇප පනතේ 20 (2) වගන්තිය ප්‍රකාරව විත්තිකාරියට එරෙහිව මහාධිකරණය දුන් තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එයට යටත්ව ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් කළ මෙම ඉල්ලීමේ සඳහන් කර තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර නඩුවේ 1 සිට 8 දක්වා සෙසු විත්තිකරුවන් ඔවුන්ට එරෙහිව නඟා තිබුණු 1, 2, 11, 12, 13, 14 සහ 23 යන චෝදනාවන්ට 2017 වසරේ නොවැම්බර් 06 වැනිදා වරද පිළිගන්නා ලදි. ඒ අනුව ඔවුන්ට අත්හිටුවූ සිරදඬුවම් නියම විය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *