Latestදේශීය

අපි බලයට එන්නේ දශක ගණනාවක් රැවටුනු ජනතාවගේ ප්‍රශ්ණ විසදන්නයි – අනුර දිසානායක

මාලිමාව බලයට එන්නේ දීර්ඝ කාලයක් රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ, පසුගිය 13 දා දඹුල්ලේදී පැවති “පුනරුදයට රටම එකට” ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මහා රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැකුවූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක,

“මෙතනට රැස්වී සිටින අය අතර කලින් මැතිවරණවලදී අපිට අපිට ඡන්දය දුන් පිරිසට වඩා අනෙකුත් දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් ඉන්නවා. දැන් අවුරුදු 30ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, නියෝජනය කර, ජනක බණ්ඩාර තෙන්නකෝන් අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ සිටියා. දැන් රනිල් නියෝජනය කරමින් ඉන්නවා. ගෙවී ගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට, ජනතා විමුක්ති පෙරමුණේ අපේ අයට කොතරම් කරදර සිදු කළාද? ඉරණගොල්ලෙදී වෙඩි තියාගත්තා. ඒ කවුරු වෙනුවෙන්ද? රනිල්ට විරුද්ධව මහින්ද වෙනුවෙන්, චන්ද්‍රිකා වෙනුවෙන්. දැන් රනිල් වෙනුවෙන්. පොදුජන පෙරමුණේ නායක මහින්ද දැන් රනිල්ගේ සහායට ඉන්නවා. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් ඉන්නවා. පොදුජන පෙරමුණේ දඹුල්ල මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝනුත් ඉන්නවා. සජිත්ගේ සහායට පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස් ඉන්නවා. ඒ පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඉන්නවා. පේළියට හිටවලා බැලුවොත් රනිල්, මහින්ද, බැසිල්, නාමල්, ජනක බණ්ඩාර, ඒ පේළියේ ඉන්නවා. අනෙක් පේළියට හිටවූවොත් සජිත්, ජී.එල්., ඩලස්, ඩිලාන් ඉන්නවා. ඔය පේළි දෙකෙන් යූ.එන්.පී. කොයි එකද? පොහොට්ටුව කොයි පේළියද? මම මේ ටිකයි කීවේ. ගම්වල ජනතාව බෙදී දේශපාලනය කළත් ඔවුන් සියලු දෙනා එකට හිටියා. මේ වෙනකොට අපට සතුටක් තිබෙන්නේ ගම්වල සියලු දෙනා ජාතික ජන බලවේගය වටා එක්වෙමින් සිටීමයි. දඹුල්ල නගරයෙන් පෙන්නුම් කරන්නෙත් එයයි.

ගොඩක් දේශපාලන සාකච්ඡා අවශ්‍ය නැහැ. මේ සිදුවෙමින් තිබෙන දේවල් දිහා බැලුවාම දේශපාලනය තේරුම් ගන්න ඒ හොඳටෝම ඇති. යූ.එන්.පී. ආණ්ඩුව කාලයේ අලුවිහාරේ දඹුල්ලට එනකොට පොදුජන පෙරමුණේ අය බයවී ඉන්න ඕනෑ. ජනක බලය ගන්නකොට යූ.එන්.පී. එකේ අය බයවෙලා ඉන්න ඕනෑ. වෙඩි තියා ගත්තා. ගෙවල් ගිනි තිබ්බා. වාහනවලට පහර දුන්නා. අපි ඒ කාලෙත් කීවා ඒ ගොල්ලෝ බෙදිලා වගේ සිටියාට රෑට රෑට එකතු වෙනවා කියලා. දැන් මහ දවල් එකට අත්වැල් බැඳගෙන එක වේදිකාවේ ඉන්නවා. ඔවුන් දෙපිලක් නොව එකම පිලක් බව අද වෙනකොට ඔවුන් විසින්ම ඔප්පුකොට තිබෙනවා. පනස් ගණන්වල ඉඳලා පරම්පරාවෙන් යූ.එන්.පී, ශ්‍රී ලංකා කියලා ජනතාව බෙදී හිටියා. හැමදාමත් ඔවුන් ජනතාවට බොරු පොරොන්දු දුන්නා. දඹුල්ල නගරයේ කඩවලට ඔප්පු දෙනවා කීවා. දැන් ආයෙත් කියන්න පටන්ගෙන තිබෙනවා. නමුත් මතක තබා ගන්න ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි ඒවාට ඔප්පු දෙනවා. ඒවා අපට ගන්න නොවෙයි. ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍රගත කරගෙන ක්‍රියාත්මක කරන මැර බලය අපේ ආණ්ඩුවක් යටතේ අවසන් කර, හැමකෙනාටම ව්‍යාපාර කළ හැකි පරිසරයක් නිර්මාණය කර දෙනවා. අපි බලයට එන්නේ දීර්ඝ කාලයක් තිස්සේ රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි.

පසුගිය කාලයේ ජනතාව ඉන්ධන පොලිමේ සිටිද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙල් ගහන්න වෙනම ෂෙඩ් එකක් වෙන්කර තිබුණා. ඒ ගොල්ලෝ පෝලිමේ නොතබා ජනතාව පෝලිමේ තැබුවා. මන්ත්‍රීවරුන්ට වෙන් කළ ෂෙඩ් එකෙන් තෙල් ගසා නොගත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තුන්දෙනා විතරයි. ජනතාව කරදරයේ වැටෙන කොට ඔවුන් කරදරයට නොවැටෙන පාලනයක් නිර්මාණය කරගෙන තිබුණා. ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මේ දවස්වල තිබෙන බාර් පර්මිට්වලින් විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බැවින් සජිත් ප්‍රේමදාස බලයට පත්වූ වහාම ඒවා අවලංගු කරන බව කීවා. මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා හැකිනම් ඔබගේ පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් හෝ රනිල් වික්‍රමසිංහගෙන් බාර් පර්මිට් ලබාගෙන නැති බව ප්‍රකාශ කරන ලෙස. බාර් පර්මිට් විතරක් නොවෙයි, පෙට්්‍රල් ෂෙඩ්, එල්.ආර්.සී. ඉඩම් බෙදා ගන්නෙත් එකට. හන්තානෙන් ඉඩම් අක්කර 10ක් ගන්න ස.ජ.බෙ. මන්ත්‍රී කෙනෙක් නිතරම ජනාධිපති ලේකම් කාර්යාලයේ ගැවසෙනවා. දැනට මහින්දානන්ද අලුත්ගමගේ බාල්දියක් පෙරළලා තිබීම නිසා නතර වී තිබෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මන්ත්‍රී අරමුදල් දෙන අතරේ ස.ජ.බ. මන්ත්‍රීවරු 20කටත් දුන්නා. ඒ විතරක් නොවෙයි, කාලින්ද ජයවර්ධනගේ ගෙදර රනිල් වික්‍රමසිංහට පාටියක් දුන්නා. ඔවුන් එකිනෙකා අතර බෙදා ගැනීමේ දේශපාලනය අපි අවසන් කරනවා. තවදුරටත් රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩයට වගේම සජිත් ප්‍රේමදාස ඇතුළු නඩයට බලය ලබාදීමෙන් වැඩක් නැහැ.

එහෙම නම්, ජාතික ජන බලවේගයට බලය දීලා වැඩක් වෙයිද කියලා කතා කරමු. ඡන්දය වළක්වන්න රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැසුවත් ජනාධිපතිවරණය වළක්වන්න බැහැ. ලේනා කියන කෙනා අධිකරණය ඉදිරියේ නඩුවක් දැමීම ගැන රුපියල් ලක්ෂයක දඩයක් ඔහුට නියම කළා. ඊට පස්සේ තවත් කෙනෙක් නඩුවක් දාලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැහුවත් අන්තිමටම ඉතිරි වෙන්නේ ටයි එකේ ගැටය විතරයි. බොහෝදුරට ඔක්තෝබර් 05 ජනාධිපතිවරණය පවත්වනවා. ඡන්දය නොතියා ඉන්න ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහට ඉඩ තියන්නේ නැහැ. අපි දඹුල්ලට ආවේ මේ රට හදන්න ජාතික ජන බලවේගයට ඡන්දය දී බලයට ගෙන්න කියන්නයි. ලෝකය පිළිගන්නේ නැතිව වීසා එකක්වත් නොදෙන බාල්දු තත්වයට ඇද දැමූ රටක් ලංකාව කියන්නේ. අපිට වීසා නොදුන්නාට බැසිල් රාජපක්ෂට වීසා දෙනවා. ඔහුට පාස්පෝර්ට් දෙකක් තිබෙනවා. එක පාස්පෝර්ට් එකක් ඇමෙරිකන් එකක්. ඒක අරගෙන ලෝකයේ සෑම රටකටම යන්න පුළුවන්. නමුත් අපේ අතේ තිබෙන්නේ බාල්දු වුණු ශ්‍රී ලංකා පාස්පොර්ට් එකක්. අවුරුදු 76ක් රට පාලනය කරලා, ලෝකයේ පිළිගන්නේ නැති ජාතියක් බවට පත් කළ ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින්ම පිළිගන්නා අභිමානවත් පුරවැසියෙක් බවට ජාතික ජන බලවේගයෙන් ගොඩනඟනවා. ඒ වගේම ලෝකයට පොලු තැබූ අපරාධවලින් ගහන වූ රටක් බවට අද පත්කර තිබෙන ලංකාව ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ලෝකයේ අභිමානවත් රටක් බවට පත්කරනවා.

මූල ධර්මයක් ලෙස නීතිය ඉදිරියේ හැමකෙනාම සමානයන් ලෙස පිළිගෙන තිබෙනවා. නමුත් නීතියේ විධානයේ ආධිපත්‍යය ඔවුන්ට එක ලෙස ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙම ක්‍රියාත්මක කරනවා නම් ජනක බණ්ඩාර එළියේ ඉන්නේ කොහොමද? නීතියේ ඉදිරියේ සමාන නම්, එයාගේ පුතා ඉන්දියාවට පැන ගොස් ඉන්නේ නැද්ද? ඔවුන් නීතිය ඉදිරියේ සමාන නැහැ. ප්‍රසන්න රණතුංග, ප්‍රේමලාල් ජයසේකර, දයා ගමගේ, ඩයනා ගමගේ එළියේ ඉන්නේ නැහැ. නීතිය ඒගොල්ලන්ට එක විදිහකටත්, පොදු ජනතාවට තවත් විදිහකටත් ක්‍රියාත්මක කරන යුගය අවසන් කර, හැමකෙනාටම සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍යයක් අපි ස්ථාපිත කරනවා. මේ දවස්වල ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුමේ තෝරු මෝරු හසුනොවී හාල්මැස්සන් හසුවන්නේ කොහොමද? ජූනි මාසය ඉවර වෙනකොට කුඩු පාතාලය අවසන් කරන බව කියූ දේශබන්දු යුක්තිය දෙක මෙහෙයුම පටන් ගත්තා. ඔවුන් කවදාවත් අප රටේ කුඩු වසංගතය නැති කරන්නේ නැහැ. අපේ රටේ අපරාධ අවසන් කරන්නේ නැහැ. අපරාධ අවසන් කළ හැකි වන්නේ නීතිය, යුක්තිය සමානව ක්‍රියාත්මක කරන ජාතික ජන බලවේගයේ පාලනයකට විතරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා රවි සෙනෙවිරත්න මැතිතුමා විශාල වෙහෙසක් දැරුවා, අපේ රටේ ආන්දෝලනයන්ට තුඩු දී තිබුණු ඝාතනයන් පිළිබඳව පරීක්ෂණ කරලා වරදකරුවන් නීතියේ රැහැනට කොටු කරන්න; පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රහාරකරුවන් අල්ලා ගන්න. ආණ්ඩු මාරු වුණා. පරීක්ෂණ සියල්ල යට යැව්වා. නිලධාරීන් මාරු කළා. සමහර පරීක්ෂණ කළ නිලධාරීන්ට රට හැර යන්න සිදුවුණා. සමහර නිලධාරීන් අවුරුදු එක හමාරක් හිරේ තිබ්බා. වරද මොකක්ද? අපරාධකරුවන් පිටුපස හඹාගෙන යාම. මේ පාලකයෝ හැමදාම අපරාධකරුවන්ගේ ආරක්ෂකයෝ. ඒවාට හවුල් වූ අය. මේ දේශපාලනය කොතැනින් හෝ කෙළවර විය යුතුයි. ආණ්ඩුව අපරාධ කරනවා නම්, ඇමතිවරු අපරාධකරුවන් ආරක්ෂා කරනවා නම්, ඔබෙත් මගෙත් ජීවිතය හැම වෙලාවෙම අනතුරේ. බියෙන් සැකෙන් රටක ජනතාවට ජීවත් වෙන්න බැහැ. නීතියේ විධානයේ ආධිපත්‍යය නීතිය ඉදිරියේ හැමදෙනාම සමාන වන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. මේ රට හදන්න පළමුවෙන්ම ඒ වෙනස අවශ්‍යයි.

අපේ රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරන දේශපාලනයක් තිබෙනවා. මේ භාණ්ඩාගාරයට එන්නේ ඔබගේ මුදල්. වෘත්තිකයන්ගේ වැටුපට බදු ගැහුවාම භාණ්ඩාගාරයට සල්ලි එනවා. සමහර වෘත්තිකයන් මේක දරා ගන්න බැහැ කියලා රට හැර යනවා. ඔබ කඩේට ගිහින් බඩු මිලදී ගත්තොත්, පෙට්‍රල් ෂෙඩ් එකට ගිහින් තෙල් ගහ ගත්තොත්, ලෙඩකට පරීක්ෂණයක් කර ගන්න පෞද්ගලික රෝහලකට ගියොත් ඒකෙන් ගාණක් භාණ්ඩාගාරයට එනවා. දරුවාට උගන්වන කොට ආණ්ඩුවට බද්දක් ගෙවන්න ඕනෑ. ලෝකයේ ගොඩක් රටවල වෛද්‍ය පරීක්ෂණවලට, වෛද්‍ය උපකරණවලට, ආහාරවලට, බදු ගහන්නේ නැහැ. මේ භාණ්ඩාගාරයට එන්නේ විවිධාකාරයේ ජනතාවගේ සල්ලි. මේ සල්ලි තමයි දේශපාලකයෝ බෙදා ගන්නේ. රනිල් වික්‍රමසිංහ අයවැයෙන් වෙන්කර ගත් මුදල්වලට අමතරව කෝටි 875ක් වෙන්කර ගත්තා. ඒ විතරක් නොවෙයි සජිත් පේමදාසගේ මන්ත්‍රීවරුන්ට කෝටි 120ක් බෙදා දුන්නා. එක පැත්තකින් මේ මහජනතාවගේ සල්ලි නාස්ති කරනවා. ඒ වගේම භාණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි හොරකම් කරනවා. සීනි බදු වංචාවෙන් කෝටි 1500ක් ගෙදරට හැරෙව්වා. බැඳුම්කර වංචාවෙන් මහ බැංකුවට එන්න තිබෙන සල්ලි, කෝටි 1100ක් අර්ජුන් ඇලෝසියස්ලගේ ගෙදරට හැරෙව්වා. එතනින් අතුරු පාරක සල්ලි රනිල්ගේ ගෙදරටත් ගියා. මහජනයාගේ සල්ලි මෙහෙම නාස්ති කරලා, සොරකම් කරලා රටක් හදන්න පුළුවන්ද? සජිත් ප්‍රේමදාස මිලියන පන්දහස් ගණනක් අරමුදල් නාස්ති කළ බව පුවත්පත්වල පළවී තිබුණා. සංස්කෘතික අරමුදල, නිවාස අරමුදල විනාස කළා. එක පැත්තකින් බෝඩ් ගහන්න, නම ගහන්න මහජන මුදල් කෝටි ගණන් නාස්ති කළා.

මේ රට හදන්න නම් නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන විය යුතුයි. භාණ්ඩාගාරයට එන මුදල් සාංඝික දේපළ වගේ ආරක්ෂා කරමින්, පුරවැසියන්ගේ කාර්යයන් වෙනුවෙන්, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, යොදවන ආණ්ඩුවක් අපි හදනවා. අද ව්‍යාපාර කඩා වැටිලා. අද ව්‍යාපාර කරන්න දේශපාලකයාගේ අවසර ඕනෑ. අපේ රටේ පෙට්්‍රල් ෂෙඩ් විශාල ප්‍රමාණයක් තිබෙන්නේ දේශපාලකයා අතේ. බාර් පර්මිට් තියෙන්නේ දේශපාලකයා අතේ. කෑගල්ලේ ඇමති බාර් පර්මිට් තුනක් විකුණුවා කෝටි නවයයි. (ලක්ෂ 900යි) ඇලහැර පැත්තේ විශාල ප්‍රමාණයක් පතල් කපන්නේ කුරුණෑගල හිටපු ඇමති. වැලිගොඩ දාන්නෙත් ඒගොල්ලන්. පාසිකුඩාවල වෙරළ තීරයේ තිබෙන ඉඩම් බොහොමයක් ඇමතිවරුන් හා ඔවුන්ගේ දරුවන් අතේ. අපි ඕගොල්ලන්ට සහතිකයක් දෙන්නම්. ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලවල සිටින කිසිවෙක් බාර් ගන්න, වැලි ගොඩදාන්න, පතල් කපන්න, හෝටල් කරන්න එන්නේ නැහැ. ඒවා කරන්නේ ව්‍යාපාරිකයන්. ඛනිජ සම්පත් ආශ්‍රිතව, කුරුඳු, තේ, සංචාරක කර්මාන්තය, පුනර්ජනනීය බලශක්තියේ විශාල ආයෝජන අවස්ථා තිබෙනවා. අද කිසිදු පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. සභාපතිගේ සිට සියල්ලන්ටම පගා ගෙවන්න ඕනෑ. අපි එන ව්‍යාපාරිකයන්ට පළමුවෙන්ම කියන්නේ “අපිට ඔබගෙන් ඇල්වතුර වීදුරුවක්වත් එපා. ඔබ මොකක්ද ගේන්නේ. මොකක්ද රටට දෙන ප්‍රතිලාභය”. ඒක තමයි අපි මනින එකම මිම්ම.

70 දශකයේ ඉන්දියාවේ කුඩ කර්මාන්තයක්, රෙදිපිළි කර්මාන්තයක්, සබන් නිෂ්පාදනයක් තිබුණේ නැහැ. අද ඉන්දියාව හඳට යන, කලාපයට මෝටර් රථ නිපදවන, ආහාර නිපදවන, බීජ නිපදවන, ඖෂධ නිපදවන ඉන්දියාවක් හැදුවා. නමුත් අපි සියල්ල පිටරටින් ගේන රාජ්‍යයක් බවට පත් කළා. අපේ පාලකයන්ට රට ඉදිරියට ගෙනියන්න දැක්මක් තිබුණේ නැහැ. පාලකයන්ට තිබුණු එකම දැක්ම තමන් හැදෙන්නේ කොහොමද? තමන්ගේ හත්මුතු පරම්පරාවට හම්බකර ගන්නේ කොහොමද? කියන එක. මේ රට ගොඩනැගීම සඳහා නව පුනරුද යුගයක් අපි ඇති කරන්න ඕනෑ. නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන වෙන, වංචා- දූෂණ-නාස්තිය නතර වෙන, ව්‍යාපාරිකයාට සාධාරණ ලෙස ව්‍යාපාරයේ යෙදෙන්න හැකි, ගොවියාට අවශ්‍ය පහසුකම් සලසන, පුනරුද යුගයක් අපි හදන්න ඕනෑ.

අපේ රටේ අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඕනෑ. ගම්වල ජනතාවගේ දුප්පත්භාවයෙන් ගැලවෙන්න නම්, ගමේ ආර්ථිකය දියුණු කරනවා වගේම දරුවා ගමෙන් එළියට ගන්න ඕනෑ. දරුවා පරණ බැඳීම්වලින් ගලවාගෙන ලෝකයේ තිබෙන දැනුමත් එක්ක තරග වදින හොඳ ශ්‍රමිකයෙක් බවට පත්කරන්න ඕනෑ. 2030 දී ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 40ක් අවශ්‍යයි. ඒ අය අපි ගම්වල හදන්න ඕනෑ. ගමේ ව්‍යවසායකයන් හදන්න ඕනෑ. අලුත් පරම්පරාව ලෝකයට විවෘත කරන්න ඕනෑ. ඒක ආරම්භ කරන්න දේශපාලන වෙනසක් ඕනෑ. එළඹෙන ජනාධිපතිවරණයේදී ඒ වෙනසට අවශ්‍ය වෙන පියවර අපි තබමු. ජනාධිපතිවරණයට තිබෙන ඉදිරි මාස දෙකහමාර අපි හැමෝම හොඳට වැඩ කරමු. යූ.එන්.පී. – ශ්‍රී ලංකා භේද තියා ගන්න එපා. අපි ඔක්කෝම සමාන පුරවැසියන් ලෙස, සමාන කොටස්කරුවන් ලෙස එකතු වෙමු. ඒගොල්ලන් උඩ එකතු වෙනවා නම්, අපිට එකතු වෙන්න බැරිද? මේ තීරණාත්මක හැරවුම උදාකර ගන්න ගමේ අපි සියලු දෙනා එකතු වී අභියෝග බාර ගනිමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *