Latestදේශීය

උසාවියට අපහාස කර නීතිඥභාවය අත්හිටවූ පුද්ගලයා බන්ධනාගාරයට

(නෙල්කා මැද­ගෙ­දර)

වෘත්තීය ආචා­ර­ධර්ම කඩ කළ බවට තමාට එරෙ­හිව විභාග වන නඩු­ව­කට අදා­ළව අධි­ක­ර­ණ­යට අප­හා­සා­ත්මක වන කරුණු ඇතු­ළත් ලේඛන ඉදි­රි­පත් කළ නීති­ඥ­භා­වය අත්හි­ටුවා ඇති පුද්ග­ල­යකු වහාම රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (17) නියෝග කළේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ ලේඛ­නා­ගා­ර­යට ඇතුළු වී එහි තිබූ නඩු ගොනු­වක් අන­ව­ස­ර­යෙන් ගෙන එහි තිබූ ලේඛ­න­යක් විනාශ කිරීම මඟින් නීති­ඥ­භා­වයේ වෘත්තීය ආචා­ර­ධර්ම කඩ කර ඇති බවට චෝදනා ලැබ සිටින මීට පෙර නීති­ඥ­භා­වය අධි­ක­ර­ණය මඟින් අත්හි­ටු­වනු ලැබ සිටින ඩබ්ලිව්.ඩී. ධර්ම­සිරි කරු­ණා­රත්න නමැ­ත්තකු මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරිණ.

ඔහුට එරෙ­හිව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චෝදනා පත්‍ර­යක් සකස් කර කඩි­න­මින් ගොනු කිරී­මට පිය­වර ගන්නා ලෙස නීති­ප­ති­ව­ර­යාට නියෝග කෙරිණ.

ඒ සම්බ­න්ධ­යෙන් කරුණු සලකා බැලීම අගෝස්තු මස 28 වැනිදා සිදු කිරී­මට නියම කෙරිණ.

අදාළ ලේඛන විනාශ කිරීමේ සිද්ධිය මඟින් ඔහුට එරෙ­හිව වෘත්තීය ආචා­ර­ධර්ම කඩ කිරීම සම්බ­න්ධ­යෙන් විභාග වන නඩුව කැඳවූ අව­ස්ථා­වේදී මෙම නියෝ­ග­යන් කෙරිණ.

එම නඩු­වට අදා­ළව ඔහු විසින් ඉදි­රි­පත් කළ ලේඛන සලකා බැලී­මෙන් අන­තු­රුව මෙම නියෝ­ගය සිදු කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීර­ණය කළේය.

‍මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙ­යි­රාජා සහ කුම­රුනී වික්‍ර­ම­සිංහ යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම නඩුව ඊයේ කැඳ­වනු ලැබිණි.

නීති­ඥ­භා­වය අත්හි­ටුවා සිටින විත්ති­කරු විසින් එම නඩු­වට අදා­ළව දිවු­රුම් ප්‍රකාශ සහ ලේඛන කිහි­ප­යක් ඉදි­රි­පත් කර තිබිණි.

ඒවා­යෙහි අධි­ක­ර­ණය විවේ­ච­නය කර­මින් සහ අධි­ක­ර­ණ­යට අප­හා­සා­ත්මක වන ආකා­රයේ කරුණු ඇතු­ළත් කර ඇති බවට අධි­ක­ර­ණය මඟින් අව­ධා­නය එහිදී යොමු කෙරිණ.

අග­වි­නි­සු­රු­ව­රයා ඇතුළු විනි­සු­රු­ව­රුන් සහ අධි­ක­ර­ණය විවේ­ච­නය කරන කරුණු ඇතු­ළත් කර මෙම දිවු­රුම් ප්‍රකාශ සහ ලේඛන ඉදි­රි­පත් කර ඇති බව නිරී­ක්‍ෂ­ණය කළ විනි­සුරු මඬුල්ල සඳ­හන් කළේ මෙවැනි ලේඛන ඉදි­රි­පත් කිරීම අධි­ක­ර­ණයේ අභි­මා­න­යට ගැට­ලු­වක් වන බවය.

එහිදී විනි­සුරු මඬුල්ලේ සාමා­ජික ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු එස්. තුරෙ­යි­රාජා මහතා සඳ­හන් කර සිටියේ අධි­ක­ර­ණයේ මෙවැනි කට­යුතු සිදු කිරීම මඟින් විත්ති­කරු අධි­ක­ර­ණයේ අභි­මා­න­යට හානි­යක් සිදු කර ඇති බවය.

ඒ සම්බ­න්ධ­යෙන් සුදුසු පිය­වර ගත යුතු බව ද විනි­සු­රු­ව­රයා එහිදී සඳ­හන් කළේය.

ඒ අනුව බැලූ බැල්මට එම ලේඛන ඉදි­රි­පත් කිරීම මඟින් විත්ති­කරු අධි­ක­ර­ණ­යට අප­හා­ස­යක් සිදු කර ඇති බැවින් ඊළඟ නඩු දිනය තෙක් ඔහු වහාම රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට විනි­සුරු මඬුල්ල නියම කළේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ ලේඛ­නා­ගා­රයේ තිබූ නඩු ගොනු­වක ලේඛ­න­යක් අන­ව­ස­ර­යෙන් ලබා­ගෙන විනාශ කිරීම සම්බ­න්ධ­යෙන් මෙම පුද්ග­ල­යාට එරෙ­හිව අභි­යා­ච­නා­ධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­රයා විසින් පැමි­ණි­ල්ලක් ගොනු­කර තිබිණි.

ඒ අනුව ඊට අදාළ අප­රාධ නඩුව මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වෙමින් පවතී.

නීති­ඥ­ව­ර­යකු ලෙස කට­යුතු කළ මෙම පුද්ග­ලයා අදාළ ක්‍රියාව මඟින් නීතිඥ වෘත්තියේ ආචා­ර­ධර්ම කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට තවත් නඩු­වක් ගොනු­කර තිබිණි.

එම නඩුව මීට පෙර විභා­ග­යට ගත් අව­ස්ථා­වේදී මෙම පුද්ග­ල­යාගේ නීති­ඥ­භා­වය අදාළ නඩු විභා­ගය අව­සන් වන තෙක් අත්හි­ටු­වී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියම කළේය.

විභාග කට­යුතු සිදු කිරීම සඳහා එම නඩුව නැවත ඊයේ කැඳවා තිබිණි.

ජනා­ධි­පති නීතිඥ මෛත්‍රී ගුණ­රත්න මහතා විත්ති­කරු වෙනු­වෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ශනිල් කුල­රත්න මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *