Latestදේශීය

විධායකය කියන විදියට තීන්දු දෙන්න අධිකරණය බැඳී නැහැ

විධායකයට අවශ්‍ය ආකාරයට තීන්දු ලබා දීමට අධිකරණය බැඳී නැතැයි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (25) පස්වරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම,

“විධායකය විසින් අධිකරණයට එරෙහිව යම් ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට පසුගිය කාලසීමාව තුළ අවස්ථා ගණනාවක දී උත්සාහ කළා. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා කළ ප්‍රකාශ විශේෂ අවධානයට ලක් කරන්න ඕනෑ. එයින් කියැවෙන්නේ ලංකාවට ශ්‍රේෂ්ඨාධිකරණයක් ඕනෑ නැහැ කියන එකද? එහෙම නැත්නම්, අධිකරණ ක්‍රමයක් ඕනෑ නැහැ කියන එකද? විධායකයට අවශ්‍ය ආකාරයට තීන්දු දෙන්න අධිකරණය බැඳිලා නැහැ. දහහත් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඇති වූ වර්ධනයන් එක්ක ව්‍යවස්ථාව සංශෝධනය වුණා. අධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව නම් කර තිබෙන්නේ යම් ස්වාධීනභාවයක් ඇති ආයතනයක් ලෙසයි. ජනාධිපතිවරයාගේ නිර්දේශ ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළේ නැහැ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ස්වාධීන ආයතන තුනට වෙන් වුණු පැවැත්මක් තිබෙනවා. නමුත්, ඊයේ හදිසියේ පැවැත් වූ කැබිනට් රැස්වීමෙන් පසුව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර කැබිනට් තීන්දුව ප්‍රකාශ කරන බවයි. අධිකරණ බලය කැබිනට් එකට හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට හෝ නැවත සලකා බැලිය හැකි බවට ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලසා නැහැ. මේක තනිකරම අධිකරණයට බලපෑමක්.

විනිශ්චයකාරවරුන්ගේ තීන්දු සලකා බැලීමේ සුදුසුකමක් කැබිනට් එකට තිබෙනවාද? කිසිසේත්ම එහෙම හැකියාවක් නැහැ. එස්.බී. දිසානායක අධිකරණයට එරෙහිව අපහාස කළ ආකාරයේ ක්‍රියාවක් මේ සිදු කරමින් ඉන්නේ. දෙදහස්දහයෙන් පස්සේ මේ වාගේ තත්වයකට මුලපිරුවා. ‘හෙජින්’ ගිවිසුම අත්සන් කළ කාලයේ පෙට්‍රල් මිල අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් විධායකය විසින් ක්‍රියාත්මක කළේ නැහැ. ඊට පසුත් ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ශිරාණි බණ්ඩාරනායක මැතිනිය අගවිනිසුරු ධුරයෙන් පලවාහැරීමට කටයුතු කළා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළා. ඒ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියටයි, දෙදහස්පහළොවේ දී මහින්ද රාජපක්‍ෂටත් යන්න සිදු වුණේ. යහපාලන රජයක් පිහිටුවන බව මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මිනිසුන් සද්භාවයෙන් සලකා බලය දුන්නා. නමුත්, ඒ රනිල් වික්‍රමසිංහම දැන් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ නැවත බල පෙරළියකට ජනතාවට පෙළඹීම් ලබා දීමයි. අධිකරණය ගැන විශ්වාසය ගොඩනැඟීමේ වගකීමක් විධායකයට සහ ව්‍යවස්ථාදායකයට තිබෙනවා. එය පැත්තකට දමා තමන් අභිමත නොවන තීන්දුවක් දුන් පමණින් බැණ අඬගහලා හරියන්නේ නැහැ. හිටපු පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් දී තිබෙන්නේ නඩුව විමර්ශනය කර අවසන් වන තුරු පොලිස්පති ධුරයේ වැඩ බැලීම අත්හිටුවීමයි. මේ නියෝගය දේශබන්දු තෙන්නකෝන් මහත්මයා කඩ කළොත්, අධිකරණයට අපහාස කිරීමේ වැරැදිකරුවකු වන්නේ ඔහුයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දෙවැනි කොටසින් කියන්නේ පොලිස්පති ධුරයට සුදුසු පුද්ගලයෙක් පත් කළ යුතු බවයි. මේ අනුව නියෝග දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙනවා. ඒ නියෝග ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් වනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි අවධාරණය කරන්නේ අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට බැරි බවයි. රටේ ජනතාවගේ අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පළුදු වන ලෙස කටයුතු කරනවා නම්, ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස අපි ඊට එරෙහි කටයුතු කරනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *