Latestවිදේශීය

තුන්වන ලෝක යුද්ධයකට සූදානම් වෙන්න – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඊශ්‍රාල් අගමැති නෙතන්යාහු අතර සිදු වූ රාජතාන්ත්‍රික හමුවේදී ට්‍රම්ප් “ඉදිරි ජනාධිපතිවරණය මා ජයග්‍රහණය නොකළොත් එය යුද්ධයක් වනු ඇත, නිසැකවම එය තුන්වෙනි ලෝක මහා යුද්ධය” විය හැකි බව පවසා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. එක්සත් ජනපද ජනාධිපතිවරනය ලං වෙද්දී ට්‍රම්ප් හා නෙතන්යාහු හමුවී, මැද පෙරදිග ගැටුම, ආරක්ෂාව හා සාමය පිළිබඳව සාකච්චාවකදී ඔහු එසේ පවසා ඇත. මීට පෙර ඔක්තෝම්බර් 7 වැනිදා හාමස් සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රහාරයේදී ඊශ්‍රාලයේ දේශසීමා ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් නොවීම පිළිබඳව ට්‍රම්ප් නෙතන්යාහු ඉතා දැඩිව විවේචනය කර තිබිණි. මේ අතර ඩිමොක්‍රටික් අපේක්‍ෂිකා කමලා හැරිස් හා නෙතන්යාහු හමුවීමේදී ගාසා යුද්ධය අවසන් කිරීමට සටන් විරාමයක් හා පලස්තීන රාජ්‍යක් බිහි කිරීම සඳහා නෙතන්යාහු අගමැති වරයාට යෝජනා ඉදිරිපත් කල බව ද වැඩි දුරටත් වාර්තා වේ.

“පසුගිය පසුගිය මාස නවය තුළ ගාසා තීරයේ සිදු වූ දේ අතිෂයින් විනාශකාරීයි. කුඩා දරුවන් විශාල වශයෙන් මිය ගොස් තිබෙනවා. “ආරක්ෂාව සඳහා පලා යන පලස්තීන වැසියන් අපේක්‍ෂා බංගත්වයට හා කුසගින්නෙන් පෙළෙන මිනිසුන් බවට පත් වෙලා. ඔවුන්ගේ දුක් වේදනා ගැන අසංවේදී වීමට අපට හැකියාවක් නෑ. මම මේ සම්බන්ධයෙන් නිහඬව නොසිටිමි, ”ඇය මාධ්‍ය වෙත පවසා සිටියාය.

ජනාධිපතිවරණ තරඟයෙන් ජෝ බයිඩන් ඉවත් වීමෙන් පසු කමලා හැරිස් විසින් ගාසා තීරයේ විනාශකාරී තත්ත්වය පිළිබඳව ඊශ්‍රායල අගමැති වරයාගේ අවධානය යොමු කර ඇති අතර හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් සඳහා එකඟ වී යුද්ධය අවසන් කරන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා ඇත. එසේම මැද පෙරදිග දිගු කාලීන සාමයක් සඳහා පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කරන ලෙසද කමලා හැරිස් මෙම හමුවේදී ඉල්ලා සිටියාය.

ඊට ඊශ්‍රායල අගමැතිවරයා තම විරුද්ධත්වය පල කර ඇති අතර “කිසිදු සටන් විරාමයක් සිදු නොවනු ඇත, අපේක්ෂක මැතිනියනි,” යයි ඊශ්‍රායලයේ අභ්‍යන්තර ජාතික ආරක්ෂක අමාත්‍ය Itamar Ben-Gvir විසින් නෙතන්යාහු වෙනුවෙන් කමලා හැරිස් හට සිකුරාදා උදෑසන X හි පිළිතුරු ලබා දී තිබිණි.

මේ හා සමගාමිව “ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම” සහ “යුද්ධය කල්පවත්නා ආකාරයකින් අවසන් කිරීම” සඳහා එකඟ වී ඇති සටන් විරාම ගිවිසුම අවසන් කිරීම සඳහා අවංක ලෙස මැදිහත් වන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා ද බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා ඇති බව මාධ්‍ය තව දුරටත් වාර්තා කර තිබිණි.

ඉන් පසුව නෙතන්යාහු ඇමරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප් ෆ්ලොරිඩා වේදී හමු වීණි. 2020 බයිඩන්ගේ ජනාධිපති වරණ ජයග්‍රහණයෙන් හා නෙතන්යාහු විසින් ඔහුට සුබ පැතීම හේතුවෙන් පිරිහී ගිය ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සහ 2020 ට්‍රම්ප් බලයේ සිටි සමයේ ඉරානයට එරෙහිව හා ඉරාන ජෙනරාල් කසෙම් සොලෙයිමානිට ඉලක්ක කරමින් සිදු කල එක්සත් ජනපද මිලිටරි මෙහෙයුමකට නෙතන්යාහුගේ සහයෝගය නොලැබීම පිළිබඳ ට්‍රම්ප්ගේ විවේචන සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට හා දෙපාර්ශ්වය අතර ඇති වෙනස් කම් සාකච්චා කර අවසන් කරලීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබිණි.

මැදපෙරදිග සාමය ඇතුළු කාරනා රාශියක් පිලිබඳ එකඟතාවයකට පැමිණීම සඳහා වසර තුනකට පෙර ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව ගිය පසු සිදු වූ ඔවුන්ගේ පළමු හමුව මෙය බව වාර්තා වේ. ට්‍රම්ප් හා නෙතන්යාහු හමුවේදී මැදපෙරදිග අනාගතය පිළිබඳ ට්‍රම්ප් සිය කනස්සල්ල පළ කළ අතර, ඔහු නැවත තේරී පත්වීමකින් තොරව තත්ත්වය තවත් නරක අතට හැරිය හැකි බවත්, තුන්වන ලෝක යුද්ධයට පවා තුඩු දිය හැකි බවත් ප්‍රකාශ කළේය. වත්මන් ලෝක නායකයින්ගේ නොහැකියාව ඔහු විවේචනයට ලක් කර ඇත. අවසාන වශයෙන්, ට්‍රම්ප් නැවත තේරී පත් වුවහොත් වත්මන් ගැටුම ඉක්මනින් අවසන් කරන බවට පොරොන්දු වූ අතර, යුද්ධය ඊශ්‍රායලයේ ප්‍රතිරූපයට හානි කරන බවට තර්ක කරමින්, ඔක්තෝබර් 7 ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ඔහුගේ ජනාධිපතිධුරය යටතේ යලි සිදු නොවන බවට ද පොරොන්දු වූවේය. මෙම හමුව ට්‍රම්ප්ට ඊශ්‍රායලයට ඇති තම දැඩි සහයෝගය පිළිබඳ ප්‍රතිරූපය ශක්තිමත් කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙස සැලකේ.

නෙතන්යාහු විසින් එක්සත් ජනපද කොන්ග්‍රසය අමතා සිදු කල කතාවෙන් පසුව ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපති කමලා හැරිස් සමඟ ඔහුගේ හමු වීම් වලදී ගාසා තීරයේ සිවිල් වැසියන් ගේ මරණයන් සහ සටන් විරාමයක අවශ්‍යතාවය පිළිබඳව ඔවුන්ගේ ප්‍රකාශයන් නෙතන්යාහුගේ දැඩි කනස්සල්ලට හා කෝපයට හේතු වී ඇත.

මේ වන විට මත විමසුම් මගින් පෙන්වා දෙන්නේ කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය සඳහා වූ තරඟයේ කරට කර සටනක යෙදී සිටින බවය. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ හා කමලා හැරිස්ගේ ප්‍රකාශයන් සමබන්ධව දේශපාලන විචාරකයින් පවසන්නේ ඒවා මැතිවරණ කාල සීමාව තුල ඇමරිකාවේ යුදෙව් හා මුස්ලිම් චන්ද ඉලක්ක කරමින් සිදුකරන දෑ නිසා ඒවායේ අවංකභාවය සැක සහිත බවයි. මේ වන විට පලස්තීන වැසියන් 40000ක් ඊශ්‍රාල ප්‍රහාර වලින් මිය ගොස් ඇත්තේ සියළු බටහිර හා ඇමරිකානු නායකයන්ගේ නිහඬතාවය තුල බව ඔවුන් සාක්ෂි සහිතව පෙන්වා දේ. එය 21 වන සියවසේ සිදු වූ දැවැන්ත ජන සංහාරයක් ලෙස ද ඔවුන් හඳුන්වා දේ.

කොන්ග්‍රසය අමතා සිදු කල දීර්ඝ දේශනය අතරතුර, රිපබ්ලිකන් මන්ත්‍රී වරුන් නෙතන්යාහු හට දැඩි ලෙස ප්‍රශංසා කළ අතර, හිටපු කථානායක නැන්සි පෙලෝසි ඇතුළු තේරී පත් වූ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හැටකට වැඩි පිරිසක් ඔහුගේ කතාව වර්ජනය කළහ. එසේම ධවල මන්දිරය ඉදිරිපිට, ඊශ්‍රායල නායකයාගේ පැමිණීමට එරෙහිව විරෝධතාකරුවන් විශාල පිරිසක් බ්‍රහස්පතින්දා රැස්ව සිටියහ. ඊට පෙර දිනයේද දහස් ගණන් ජනයා ඇමරිකානු අගනුවර වල වීදි බැස ඊශ්‍රාල් අගමැති වරයාට තම විරෝධය පල කර සිටි බව එරට මාධ්‍ය වාර්තා කර සිටී.

ට්‍රම්ප්ගේ මෙම තුන්වෙනි ලෝක යුද්ධය පිලිබඳ අනතුරු හැඟවීමේ ප්‍රකාශය පිලිබඳ විදේශ මාධ්‍ය හා බටහිර නායකයින් නිහඬ පිළිවෙතක් අනුගමනය කලද මේ වන විට වෙනිසුවේලාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ රැස්වීමකදී පාලක සමාජවාදී පක්‍ෂයේ අපේක්‍ෂක නිකොලා මදුරෝ විසින් මෙම ඉරිදා ජුලි 28 වැනිදා පැවැත්වෙන එරට චන්දයේදී තම පක්‍ෂය ජයග්‍රහණය නොකොළොත් රටේ සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට කරන ලද ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සිදු කරන ලද සහාසික ප්‍රකාශයක් ලෙස දක්වමින් හෙලා දැක තිබිණි. 2020 වසරේදී ට්‍රම්ප් ජනාධිපතිවරණය පැරදී ගෙදර යාම ප්‍රතික්‍ෂේප කරමින් ඇමරිකාව සිවිල් යුධමය තත්වයක් දක්වා තල්ලු කිරීමට පවා උත්සහ කර තිබු බව මේ අයට කිසිසේත් අමතක කල නොහැකි බව දේශපාලන නිරීක්ෂකයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *