Latestදේශීය

මාලිමාව සමග නොසැලී ඉදිරියට යනවා

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගය සමග නොසැලී ඉදිරියට යන බව මාලිමාවේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29) පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිමාවේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර,

“අපි වසර ගණනාවක් සේවයේ යෙදී සිට, විශ්‍රාම යාමෙන් පසුව පැහැදිලිව තේරුම් ගියා රට පත්වී තිබෙන ඛේදනීය තත්වය ගැන. අපිව මේ තත්වයට ගේන්න ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව දැරූ වෙහෙස මහන්සිය සම්බන්ධයෙන් අපේ හදවත්වල ගරුත්වය, අභිමානය කවදත් තිබෙනවා. රට පත්වී තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් කිරීමෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්වී දෙවන මෙහෙයුමට පණ දෙන්න 2022 වසරේ අවසන් භාගයේ කුඩා කණ්ඩායමක් ලෙස මුල පිරුවා. මේ වන විට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හතළිස් දහසක් පමණ අපි එක්ක එකතු වී සිටිනවා. උතුරු නැගෙනහිර හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අදිටන සමුළු පවත්වා අපට තිබෙන වගකීම් සහ යුතුකම් පිළිබඳව විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට පහදා දුන්නා. ඒ තුළින් ඔවුන් උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉදරි ගමනට එක්වී සිටිනවා. 2023 පැවැති පසුබිම අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළත් වර්තමාන තත්වයට අනුව යාවත්කාලීන කර, නැවත ඉදිරිපත් කරන්න කටයුතු කරගෙන යනවා.

මේ ගෙවීගිය කාලය තුළ ජාතික ජන බලවේගය සමග එක්වී කටයුතු කිරීම සම්බන්ධයෙන් අපට එල්ල වූ සියලු අභියෝග ජය ගනිමින් අධිෂ්ඨානයෙන් කටයුතු කරගෙන යනවා. සියලු දෙනා නොසැලී එක අරමුණක් කරා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ලෙස ජාතික ජන බලවේගය සමග නොසැලී ඉදිරියට යනවා. ජීවිතයේ සෑම දෙයක්ම කැපකර රට වෙනුවෙන් කටයුතු කළත් අන්තිමේ බලන කොට දුක්ඛිත තැනකට ඇද දා තිබෙන රට මුදා ගන්න දෙවැනි මෙහෙයුම ලෙස අපි ඉදිරිපත් වී සිටිනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික මහා සමුළුව අගෝස්තු හතරවැනිදා සවස 2.00ට බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන්න කටයුතු කරගෙන යනවා. ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික ආබාධිතයන්, මියගිය සාමාජිකයන්ගේ පවුල්වල අයවලුන් සම්බන්ධ ගැටලු ඇතුළු කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. අද රට පත්ව තිබෙන තත්වය ගැන සැලකිලිමත් වී මෙතෙක් අප සමග එක් නොවූ සියලු දෙනාටමත් මෙයට එක්වන ලෙස විවෘත ආරාධනයක් කරනවා. රටට වැඩදායී කටයුතු ඉටුකිරීමට ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලීමක් කරනවා. අද වෙනකොට ජාතික ජන බලවේගයට එතෙර වෙසෙන ශ්‍රී ලාංකික විද්වතුන් පර්යේෂකයන්, විශේෂඥයන්, වෛද්‍යවරුන් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම බුද්ධිමතුන් එක්වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිගරුකභාවය නිසා රට ගොඩගැනීම සඳහා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය වටා එක්වෙමින් සිටිනවා. ජාතික ජන බලවේගය සමග එක්වීමට 2022 ගත් තීරණය සම්බන්ධයෙන් අපිත් ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා.

ජාතික ජන බලවේගයෙන් ගොඩනඟන මහජන රජයකින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට ගෞරවයෙන් සහ අභිමානයෙන් ජීවත් වෙන්න ඉඩ සැලසීම මේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වී තිබෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට එල්ල වී තිබෙන ආර්ථික පීඩනය හමුවේ යුක්‍රේනය, රුසියාව වැනි රටවල අතිශයින් අනතුරුදායක රැකියාවලට පවා යන්න සිදුවී තිබෙනවා. මේ රටට විශේෂිත දායකත්වයක් ලබා ගත හැකිව තිබෙන විනය, සංවිධානාත්මකබව, කැපවීම යන ගුණාංගවලින් යුත් ඔවුන් රට වෙනුවෙන් විශේෂ කටයුතුවලට යොදාගත හැකියි. හමුදාව අත්හැර ගොස් සිටින තාමත් එය නීත්‍යානුකූලව සිදුකරගෙන නැති අයගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත් විය හැකි වටපිටාවක් සකස් කර දෙනවා. රටක් හැටියට මත්ද්‍රව්‍ය, ජාවාරම්, ආහාර සුරක්ෂිතතාව, මූල්‍ය අපරාධවලට ඉඩ හැර නීතියේ ආධිපත්‍යය බිඳවැටීමෙන් මුදාගෙන රට ගොඩනඟන්න අපේ විශේෂිත හැකියාවන් යෙදවීමට දැඩි උනන්දුවකින් පෙළගැසෙමින් සිටිනවා. අගෝස්තු 04වැනි දින විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ජාතික සමුළුව පවත්වන්නේ එතෙර මෙතෙර සිටින ශ්‍රී ලාංකිකයන් විදිහට විශේෂ පණිවිඩයක් ලබාදෙන්නයි. පළමු ස්ථම්භය ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයත් ඊළඟ ස්ථම්භය ලෙස විශ්‍රාමික පොලිස් සාමූහිකයත් ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ විශිෂ්ටයින් සහභාගි කරගත් මහජන පාලනයක් ලබා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් 21දා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්න අපි සියලු දෙනා පෙළගැසී සිටිනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *