Latestදේශීය

විජේරාම පොහොට්ටු කල්ලියේ තීන්දුව නාට්‍යයක් – ශෙහාන් සේමසිංහ

(සුභාෂිණී සේනානායක)

රනිල්ට සහාය නොදැක්වීමට පොහොට්ටුව ගත් තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, වීනාශකාරී තීන්දුවක් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ ‘එක්ව ජයගමු’ යන තේමාව යටතේ ඊයේ (30) බම්බලපිටිය ලොරිස් පටුමගේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිණි.

එහිදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කීප දෙනකුගේ අවශ්‍යතාවය මත අපේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධව ඔවුන් තීන්දුවක් ගෙන තිබෙනවා.

විජේරාමයේ පොහොට්ටු කල්ලියේ තීන්දුව නාට්‍යයක්. පොහොට්ටුවේ බහුතරය රනිල්ට යැයි මෙහිදී කියා සිටි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මහින්ද රාජපක්ෂ මහතා එම තීන්දුව නිවැරැදි කරනු ඇතැයි අපේක්ෂා කරන බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කීප දෙනකුගේ අවශ්‍යතාවය මත අපේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධව තීන්දුවක් ගෙන තිබෙනවා. පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ගත් තීරණයක්. මේ රටේ අනාගතයේදී 2022 දී ඇති වූ ආර්ථික අර්බුදයට හා කලහකාරී තත්ත්වයට ගමන් කරනවාද? නැත්තම් මේ වසර දෙක තුළ ඇති කර ගත්තා වූ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යනවාද කියලා තීන්දු කරන මැතිවරණයක් මේක.

මේ මැතිවරණයේදී සියලු දේශපාලන පක්ෂ වගකීමෙන් කටයුතු කළ යුතුයි. සියලු පුරවැසියන් වගකීමෙන් කටයුතු කරන්න සූදානම් කියලා අපිට පේන්න තියෙනවා. වසර දෙකකට පෙර තිබුණ තත්ත්වය දෙස බලද්දී අද තත්ත්වය විශාල සංවර්ධනයක් වෙලා තිබෙනවා. නමුත් අපිට මෙතැනින් නතර වෙන්න බෑ. ඉතිහාසය දෙස බලද්දී මේ රට ආර්ථික කඩා වැටීම්වලට ලක්ව තිබුණ නමුත් මේ වගේ කඩා වැටීමකට ලක් වෙලා නෑ. ස්ථාවරත්වය ගන්න හදපු සෑම අවසථාවකදීම විවිධ අයගේ විවිධ බලපෑම් මත අස්ථාවරත්වයට පත්වන තීන්දු වෙත ගමන් කර තිබෙනවා. එවැනි තත්ත්වයට පොදුජන පෙරමුණ පත්වීම ඉතා කනගාටුදායකයි. රටේ ස්ථාවරත්වයට සහ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලොකු වගකීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබෙනවා. පොදුජන පෙරමුණේ සුළු පිරිස ගත්ත තීන්දුව නිසා තමයි අද අපේ රට අර්බුදයකට ගියේ. ඒ අර්බුදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් යටතේ ඇති වූ අර්බුදයක්. ඒ වේලාවේ වගකීම භාර ගන්න පුළුවන් සුදුසුම කෙනා විදියට පත් වුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. අර්බුදයට රට ගමන් කරද්දී හොඳ වෙච්ච රනිල් වික්‍රමසිංහ 2024 මැතිවරණයට පොදුජන පෙරමුණට හොඳ නැති වුණේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.

මේ රටේ ආර්ථිකය ගෙඩ නැඟීමත් එක්ක පොදුජන පෙරමුණේ සීමිත පිරිසකට බල කෑදරකමක් ඇතිවුණා. රට දැඩි අනාරක්ෂිත අවස්ථාවක කවුරුත් නොමැති අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාර ගත්තා.

පොදුජන පෙරමුණ නිර්මාණය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා. පොදුජන පෙරමුණ කියන මල්මාලාව හදද්දි ඒ සඳහා අපි සියලු දෙනා මල් ඇමිණුවා. මේ තීන්දුව ගත්ත කීප දෙනා හදපු පක්ෂයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂය ගත් මේ වැරැදි තීන්දුව නිවැරැදි කරයි කියලා මම විශ්වාස කරනවා.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *