මුලතිව් තරුණයාගේ මරණය ඝාතනයක්
මුලතිව් වවුනිකුලම් වැවේ තිබී පෙරේදා (31) හමු වූ තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඔහුගේ ගෙල සිරකර මරා වැවට දමා ඇති බවයි.
කැනඩාවේ රැකියාවකට පිටත්ව යෑමට බැංකුවකින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් රැගෙන යතුරුපැදියකින් එමින් සිටි මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේ ආනන්දරාසා ජීවන් (27) නමැති තරුණයාගේ මළ සිරුර වවුනිකුලම් වැවෙන් හමු වී තිබිණි. ඔහුගේ සරමක් යතුරුපැදිය හා පාවහන් යුගල වැව් කණ්ඩියේ එක් ස්ථානයක තිබී හමු වූ අතර මරණය සම්බන්ධයෙන් පොලිසියට විශාල සැකයක් හටගෙන ඇති හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය දැනුම්වත් කර තිබේ.
මළ සිරුර හඳුනාගත් පවුලේ ඥාතීන් ද මරණය ගැන සැකයක් ඇති බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ප්‍රකාශ කිරීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණය මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සිදු කර ඇත. එහිදී ඔහු වාර්තා කර ඇත්තේ තරුණයාගේ මරණය ගෙල සිර කිරීමෙන් සිදු වී ඇති අතර ඔහු මියයෑමෙන් පසුව මළ සිරුර වැවට දමා ඇති බවත්ය. අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් එස්.එච්. මැක්රූස් මහතා තරුණයාගේ මළසිරුර අවසන් කටයුතු සිදු කිරීමට ඥාතීන්ට භාර දෙන ලෙසත් මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කර තිබේ. නාට්ටන්කන්ඩාල් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
@දිනමිණ