Latestවිදේශීය

බංගලාදේශයේ ජනතාව නැවතත් වීදි බසී

(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය මාසයේ පැවැති විරෝධතාවලිදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා එරට ජනතාව නැවත වරක් විදී බැස්සේය. මියගිය පිරිසේ වගකීම බාර ගනිමින් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහ රජය ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී ඇත.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බළ කරමින් සිවිල් ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු බවට ශිෂ්‍ය නායකයන් එරට ජනතාවගෙන් කළ ඉල්ලීමත් සමඟ බංග්ලාදේශ ජනතාව නැවත වීදි බැස විරෝධතා ආරම්භ කළේය. එම ඉල්ලීම කළ අවස්ථාවේ රජයේ රැකියා කෝටාවට විරෝධයපාමින් විරෝධතා ආරම්භ කිරීමට මුල්වූ “වෙනස්කම්වලට එරෙහි සිසුන්” නම් සංවිධානයට අග්‍රාමාත්‍ය හසිනා සමග සාකච්ඡාවක් ලබා දීමට එරට රජය කටයුතු කළත් එයද එම සංවිධානය ප්‍රතික්ෂේප කළේය.

අග්‍රාමාත්‍ය හසීනා සමඟ ලබාදුන් සාකච්ඡාව ප්‍රතික්ෂේප කරමින්  “වෙනස්කම්වලට එරෙහි සිසුන්” නම් සංවිධානය ප්‍රකාශ කර සිටියේ පසුගිය මාසයේ පැවැති විරෝධතාවලදී 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් වගකීම අග්‍රාමාත්‍ය හසීනා බාරගත යුතු බවත් ඔවුන්ට යුක්තිය ලබාදීම සඳහා අධිකරණයට කැඳවිය යුතු බවත්ය.

විරෝධතා මේ වනවිට නැවත වරක් ප්‍රචණ්ඩවී ඇති බවත් ගාසිපූර්හිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම ඩකා අගනුවර ආසන්නයේද විරෝධතා පැවැත්වෙන බවත් එම විරෝධතාද ප්‍රචණ්ඩවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ අතර පසුගිය මාසයේදී පැවැති විරෝධතාවලදී ළමයින් 32 ඝාතනය වී ඇති බවත් ඒ අතර වයස අවුරුදු 5 ට අඩු ළමයින්ද සිටින බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම ළමුන් විරෝධතාකරුවන් නොවන බවත් ඔවුන්ගේ මරණ කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පැවැසුවේය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *