Latestක්‍රීඩාදේශීය

මගේ රටේ සියලුදෙනා මා දෙස බලා සිටිනවා – අරුණ දර්ශන

(ප්‍රින්ස් ගුණසේකර)

ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අවසන් පූර්ව වටයට පිවිසීමේ උදාර සලකුණක් තැබූ මීටර් 400 ශූර අරුණ දර්ශන ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11. 05ට පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථයට පිවිසෙයි. 1948දී ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී ඩන්කන් වයිට් හා 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුසන්තිකා ජයසිංහ පදක්කම් දිනා ශ්‍රී ලංකාවට කීර්තිය ගෙනදුන් පසු අරුණ දර්ශන අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩකයා බවට පත්ව තිබේ.

මීටර් 400 ඔලිම්පික් මූලික වටයේ තරගයට පෙරේදා එක්වූ අරුණ දර්ශන තත්පර 44.99ක කාලයක් ගතකොට අවසන් පූර්ව වටයට පිවිසියේය. 1998දී සුගත් තිලකරත්න ජපානයේ ෆුකෝකා හිදී තත්පර 44.61කින් පිහිටුවා ඇති මීටර් 400 ශ්‍රී ලංකා වාර්තාව මකා දැමීමට අරුණ දර්ශනට අඩු වූයේ දශම කිහිපයක් පමණි. එම ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීම අරුණ දර්ශනගේ තවත් අපේක්ෂාවකි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 400 ඔලිම්පික් නියෝජනය සිහිපත් කිරීමේදී 1948දී ජොහාන් ද සේරම් තත්පර 51.20කින්, 1972දී වික්‍රම විමලදාස තත්පර 46. 50කින්, 1996දී සුගත් තිලකරත්න තත්පර 45. 78කින්, 2000දී සුගත් තිලකරත්න තත්පර 45. 54කින් හා 2004දී රොහාන් ප්‍රදීප් තත්පර 46. 20කින් තරග නිමකොට ඇත. එයින් අවස්ථා දෙකකදී පමණක් විමලදාස හා සුගත් යන ක්‍රීඩකයන් දෙදෙනා දෙවැනි වටයට පිවිසීම මීටර් 400 ඔලිම්පික් තරග ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉහළම දක්ෂතා වේ.

එබැවින් සේරුවිල සිංහපුර පිටිසර ගම්මානයක උපන් අරුණ දර්ශන පැරිස් නුවරදී දක්වන දක්ෂතා පිළිබඳ මලල ක්‍රීඩා විචාරකයන්ගේ දැඩි ප්‍රශංසාව හිමිව ඇති අතර, ඔහු ශ්‍රී ලංකාව නම් වූ පෙරදිග මුතු ඇටයෙන් පැමිණි පෙරළිකාරයෙක් බවට හඳුන්වා දී තිබේ.

අද පැවැත්වෙන අවසන් පූර්ව තරගයට ලොව අතිදක්ෂ ක්‍රීඩකයන් 24ක් සහභාගි වන අතර, අරුණ දර්ශන 17 වැනි ස්ථානයේ සිටී. අරුණ මූලික වටයට පිවිසෙද්දී කාලය අනුව ඉදිරියෙන් සිටි ලොව දැවැන්තයන් කිහිප දෙනෙකුම පසුකොට ගිය බැවින් මේ අවසන් පූර්ව වටය දෙස බොහෝ අවධානයක් යොමුව පවතී.

“මම පැරිස් ආවේ සෙමි ෆයිනල් එකක් දුවන්න අපේක්ෂාවෙන්. ඒක මම කළා. දැන් මට තියෙන්නේ අවසන් තරගයට එන්නේ කොහොමද කියන එක සැලසුම් කරන්නයි. මගේ පුහුණුකරු අසංක රාජකරුණා සර්ගේ උපදෙස් අනුව මා සැලසුම් කරමින් ඉන්නවා. ඒ ප්ලෑන් එක අනුව අවසන් පූර්ව වටයේදී දුවන්න හිතාගෙන ඉන්නේ. මේ ගමන එන්න ගොඩක් දුෂ්කර වුණා. අභියෝග එමටයි. මා දන්නවා ශ්‍රී ලංකාවේ ජනතාව මා දිහා බලගෙන ඉන්න බව. මගේ ගමන සාර්ථක වෙන්න ඒ අයගේ ආශීර්වාදය මට වැදගත් බව මා දන්නවා“ අරුණ දර්ශන ‘දිනමිණ‘ට පැවසීය.

දෙහිවත්ත මහා විදුහලෙන් හා අකුරන්ගොඩ වීරකැප්පෙටිපොළ විදුහලෙන් ක්‍රීඩාවට අවතීර්ණ වූ අරුණ දර්ශන ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරයි. ඔහුගේ පුහුණුකරු අසංක රාජකරුණා මහතා පැවැසූවේ තත්පර 45ට අඩු කාලයක් වාර්තා කිරීම පැරිස් ඔලිම්පික් උලෙළේදී අපේක්ෂා කළ බවයි. “ අපේ මුල් අපේක්ෂා ඉටු වුණා. අරුණ වගේ අභියෝග මැද මේ තරම් දුර ආපු ක්‍රීඩකයෙක් තවත් නෑ. ඔහු ඉලක්කයට යනවා. හොඳ කාලයක් වාර්තා කිරීමෙන් ඉදිරි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ඔහු සුදුසුකම් ලබනවා. අපේ සැලස්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම දේ කරන්නයි“රාජකරුණා මහතා පැවසීය.

පැරිස් නුවරට තම පෞද්ගලික වියදමින් පැමිණ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිරි ගන්වමින් සිටින මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හා ලේකම් සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරු අරුණ හමුවී සුබ පැතුම් එක්කළහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *