Latestදේශීය

දැන් ජනතාව ආන්ඩුවක් හදාගන්න ඕනා – සමන්ත විද්‍යාරත්න

“මේ දක්වා එක එක්කෙනාට ආණ්ඩු හැදුවා ඇති. දැන් මහජනතාවට ආණ්ඩුවක් හදාගන්න ඕනෑ” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළ් හෝමාගම කහතුඩුව පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායකගේ ජය තහවුරු කිරීමේ ජනහමුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න,

“අවුරුදු 76ක් දුක්විඳලා රටක් බලාපොරොත්තුවන ජයග්‍රහණයක් ලබාගැනීම වෙනුවෙන් අපි කවුරුත් ඉදිරි කාලයේදී ජයග්‍රාහීව වැඩකරමු කියලා මුලින්ම ඉල්ලනවා. මේ ජනාධිපතිවරණය වැළැක්වීමට රනිල්ලා, රාජපක්ෂලා, දැමූ ආරක්ෂක වළලු සියල්ල කඩා අවසන් කර, සැප්තැම්බර් 21දා මහජනතාවගේ සැබෑ පාලනයක් පිහිටුවීම ආරම්භ කරනවා. මේ දක්වා එක එක්කෙනාට ආණ්ඩු හැදුවා ඇති. දැන් මහජනතාවට ආණ්ඩුවක් හදාගන්න ඕනෑ. ජන සහභාගිත්ව සංවර්ධනයකට මුල පුරන්නේ ඒ ජයග්‍රහණයෙන් පසුවයි. මේ රට විනාශ කළ, පක්ෂ වගේම නායකයෝත් කෑලි කෑලිවලට බෙදිලා නන්නත්තාර වෙලා ඉන්නේ.

සජිත්ගේ පක්ෂයේ සභාපති එල්ලකරන චෝදනා සුළු පටු ඒවා නොවෙයි. ඒවගේම රනිල් වික්‍රමසිංහත් ප්‍රශ්න කරන්නේත් ෆොන්සේකා එල්ල කළ චෝදනා පිළිබඳවමයි. අපේ නායකයාට කටයි, බඩයි විතරයි තියෙන්නේ රටක් කරන්න නම් බැහැ කියලා රාජිත සේනාරත්න කියා තිබෙනවා. ඒ අතර ජාතික ජන බලවේගය රට පුරාම මහා සංඝරත්නය ප්‍රමුඛ කරගෙන කාන්තා, තරුණ වගේම වෘත්තිකයන් සංවිධානය කරමින් ජනතාව ඉදිරියට පැමිණ දේශපාලන අවබෝධය ලබාදෙමින් බලය ලබාගන්න දින ගණන් කරමින් සිටිනවා. ගුරු සමුළුව, හෙද සමුළුව වගේම විශ්‍රාමික හමුදා සමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳව සතුරන් කළබලවී සිටිනවා. හෙද සමුළුවට නිල ඇඳුමෙන් පැමිණීම ගැන සතුරා විවිධ ප්‍රචාර යැව්වත් මැතිවරණ කොමිසම වෘත්තීය සමුළුවට නිල ඇඳුමෙන් පැමිණීම නීති විරෝධී නොවන බව පැවසුවා. ඒ අය නිල ඇඳුමෙන් පැමිණියේ නැත්නම් සතුරන් කියන්නේ ඔවුන් හෙද හෙදියන් නොවෙයි කියලා. සමන් රත්නප්‍රියලාගේ වෘත්තිය සමිති ඉවරයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ වන විට මැතිවරණය වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වෙන්න ආපසු පැමිණෙමින් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂට 2019 ඡන්දය දුන්නාට වඩා වැඩි පිරිසක් පැමිණෙන බව විශ්වාසයි. මෙතනට ඇවිත් ඉන්න පිරිසට වඩා වැඩි පිරිසක් පිටින් ඉඳලා මේ මොහොතේත් මාලිමාව ජයග්‍රහණය කරවීමට කටයුතු කරමින් ඉන්නවා. මේ පාර එන්නේ ලංකා ඉතිහාසය උඩුයටිකුරු කරවන විශිෂ්ට ජයග්‍රහණයක්. ගෝල්ෆේස් අරගලය කළේ රනිල් බලයට ගේන්න නොවෙයි. අරගලයට ගිය ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කමක් කරන්න, ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකට එකම සුදුස්සා හැටියට ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා. මේ දක්වා පාලකයන් මාතෘ භූමියට අසාර්ථක ප්‍රතිඵල ලබාදීලා අසාධ්‍ය තත්වයට පත්ව තිබෙනවා. ජාතික ජන බලවේගයට පැවරී තිබෙන්නේ අසාධ්‍ය තත්වයෙන් ඉන්න මාතෘ භූමිය ගොඩගැනීමයි. අද වෙනකොට මහජන නියෝජිතයන් වෙනුවෙන් ප්‍රශ්න කතාකරනවා කියන, උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ පාසල් දරුවන්ට ඉන්න බැරි කුණුහරුප කියන තැනක් බවට පත්කරගෙන තිබෙනවා. මම පාර්ලිමේන්තුවේ හිටිය කාලයේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 196 දෙනෙක් සාමාන්‍ය පෙළ ෆේල්.

අනුර සහෝදරයා ජනාධිපතිවෙලා මදි. පළවෙනි කැබිනට් එකටම යෝජනාවක් ඉදිරිපත් කරනවා, ජනතාවට නොමැති වරප්‍රසාද දේශපාලනඥයන්ටත් අහිමි කරන්න. මේ වැඬේ සජිත්ලාට කරන්න බැහැ. වෙන කිසිකෙනෙකුට කරන්නත් බැහැ. උන්ට සැප විඳින්න හදාගෙන තිබෙන නීති සියල්ල අපි අහෝසි කරනවා. මේ මගින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට පමණක් වැය කෙරෙන රුපියල් ලක්ෂ 1100ක් ඉතිරිකර ගන්නවා. මේ රටේ පවතින කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් රට ගොඩනැගීම ආරම්භ කරනවා.

ලෝකයේ සමහර රටවල් දියුණු වුණු ආකාරය ගැන බලනකොට පුදුම හිතෙනවා. අපේ රටට තරම් සම්පත් නැහැ. ජපානයේ ගිනි කඳු තිබෙනවා. භූමිකම්පා ඇති වෙනවා. සුනාමි එනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මැදපෙරදිග රටවල්වල කාන්තාර දියුණු රටවල් බවට පත්කරගෙන තිබෙනවා. නමුත් අපේ රටේ මෙච්චර සම්පත් තිබිලත් දියුණු කර ගන්න බැරි වුණේ ඇයි? අපේ රටේ ජනතාවගේ ඡන්දවලින් හොරු බලයට ඇවිත් රජවුණා. නොගැළපෙන පිරිසක් මහජන නියෝජිතයන් බවට පත්කර ගත්තා. නමුත් කණගාටු වෙන්න එපා. සත්‍යයට ගරු කර ඔබේ තිබුණු දියුණු අරමුණු වෙනුවෙන් ක්‍රියාකිරීමේ අවස්ථාව 21දා පැමිණ තිබෙනවා. ඔබට තිබෙන්නේ රට දියුණු කිරීමේ අරමුණ, ජාතිවාදය, ආගම්වාදය නැති රටක් හදාගැනීමේ අරමුණ, හොරකම්, වංචා, දූෂණ වැළැක්වීමේ අරමුණ. නමුත් පාලකයන්ට තිබුණේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අරමුණක්. නමුත් පාලකයන් කළේ සෞභාග්‍යයේ දැක්ම, සුබ අනාගතය, ආසියාවේ ආශ්චර්ය වගේ ආදර්ශ පාඨ ඉදිරිපත් කරලා ඔබව රැවටීමයි. ඒ විරතක් නෙවෙයි ධර්මිෂ්ට සමාජයක් බිහිකරන බව ප්‍රකාශ කරලා මත්ද්‍රව්‍ය වසංගතයට රට බිලිදීලා, අපරාධවලින් ගහණ රාජ්‍යයක් නිර්මාණය කළා. නමුත් 2024දී ඔබේ අරමුණ සහ ජාතික ජන බලවේගයේ අරමුණ සමපාත වෙලා නව පාලනයක් පිහිටුවා ගන්නවා.

අපේ රටේ ප්‍රාථමික කර්මාන්ත ජනතාවගේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබුණා. දියුණු වූ රටවල් කළේ ප්‍රාථමික කර්මාන්තවලට නව තාක්ෂණය ලබාදීලා දියුණු කිරීමයි. නමුත් අපේ රටේ ආණ්ඩු තිබුණු කර්මාන්ත ටිකත් බිඳවැටෙන මට්ටමට හැමදේම ආනයනය කළා. අලුත් දේවල් නිෂ්පාදනය කරන්නේ නැත්නම් ඒ රට දියුණු වෙන්නේ නැහැ. සරුංගල්, වෙසක් කූඩු පවා පිටරටින් ගේන මට්ටමට අපේ රට වැට්ටුවා. මේ අර්බුදයෙන් රට ගොඩගන්න නම්, මහා පුනරුද යුගයක් ඇති කරන්න ඕනෑ. කර්මාන්ත සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ සංවර්ධන බැංකුවක් පිහිටුවන්න දැනටමත් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය වෙනත් යටිතල පහසුකම් සලසාදී මේ රට තුළ හෝ ලෝක වෙළඳපොළ තුළ ඉල්ලුම් ලබාදෙන්න ක්‍රියාකරනවා. අපේ රටේ පාසල් දරුවන් ලක්ෂ 45ක් ඉන්නවා. අවුරුද්දකට සපත්තු කුට්ටම් කීයක් ඕනෑද? කවකටු පෙට්ටි කීයක් ඕනැද, පොත් කීයක් ඕනැද? මේවා ලංකාවේ නිෂ්පාදනය කර ගන්න බැරිද? කෘෂිකර්මාන්තයේදී ගොවියාට උදළු, පිහි, වෙනත් උපකරණ කොපමණ ඕනැද? මේවා ලංකාව තුළ නිෂ්පාදනය කර ගන්න බැරිද? මේ හැමදේටම මුල පුරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිතව ලබාදෙන බදු නවත්වා දැමීමෙන්. නමුත් කර්මාන්ත ක්ෂේත්‍රයට මැෂින් එකක් ඕනෑ නම්, බදු සහන ලබාදී අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දෙනවා. ඒ වගේම කර්මාන්ත ඇතුළු නිෂ්පාදන වෙනුවෙන් කාර්යක්ෂම රාජ්‍ය සේවයක පහසුකම් සලසා දෙනවා. ලංකාවේ නිෂ්පාදනය කරගත හැකි එළවළු පළතුරු කොපමණ ප්‍රමාණයක් පිටරටවලින් ආනයනය කරනවාද? අපේ රටේ කෘෂිකර්මාන්තයට තාක්ෂණය සහ නවීනත්වය හඳුන්වාදී පුනරුද යුගයක් නිර්මාණය කරනවා.

මේ වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තිය එළි දැක්වූවා. අපේ රටේ ඉන්න ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සහ විශේෂඥයන් මේ ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. කුඩා ගොවිබිම්වල කටයුතු වෙනුවෙන් ලෝකයේ කුඩා අත් ට්‍රැක්ටරය නිෂ්පාදනය කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රේ. විජේවර්ධන මහත්මයා. ඔහුගේ නිෂ්පාදනය ගැන එදා හිටපු අගමැතිට කෘෂිකර්ම ඇමතිට හඳුන්වා දුන්නත් කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ. එදා සිටි පාලකයන් රේ. විජේවර්ධන මහත්මයාට ප්‍රකාශකර තිබුණේ පිරිවැයක් දරන්න ඕනෑ මැෂින් එකක් වෙනුවට කිසිම පිරිවැයක් නැති හරකුන්ගෙන් කෘෂිකාර්මික වැඩ කර ගත හැකි බවයි. මෙයින් වේදනාවට පත්වූ රේ. විජේවර්ධන මහත්මයා එංගලන්තයට සහ ජපානයට ඒ අත්ට්‍රැක්ටරය හඳුන්වා දුන්නා. මේ වන විට ලෝකය පුරා කෝටි ගණනක් අත්ට්‍රැක්ටර් බෙදහැර තිබෙන බව අපි කවුරුත් දන්නවා. ලංකාවට ඩොලර් හොයන්න තිබුණු අවස්ථාවක් අපට අහිමි වුණා. ඒ විතරක් නොවෙයි අපේ ගොවි බිම්වලට අත්ට්‍රැක්ටර් පිටරටින් ගෙන්වනවා. අපේ පාලනයක් යටතේ මේ රටේ නිෂ්පාදකයන්ට උපරිම අවස්ථාව ලබාදී ලෝකයට හඳුන්වා දෙන්න ක්‍රියා කරනවා.

ඔබ කවුරුත් අහලා ඇති වසරක් පාසා නව නිර්මාණකරුවන්ගේ තරඟ ජාතික මට්ටමෙන් පවත්වන බව. ලෝකයේත් එහෙම කරනවා. ඇමෙරිකාවේ වාර්ෂිකව නව නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වනවා. ඇමෙරිකාවේ නාසා ආයතනය මේ නව නිර්මාණ සම්බන්ධයෙන් තරගයක් පවත්වා. හොඳම නිර්මාණය තෝරා ගන්නවා. අනුරාධපුරයේ ගලෙන්බිඳුණු වැව කපුගේ කියන තරුණයා නියර සැහීම සහ නියර බැඳීම වෙනුවෙන් නිර්මාණය කළ උපකරණය ලෝකයේම පිළිගත් නව නිර්මාණයක් හැටියට නාසා ආයතනය තෝරා ගත්තා. එය නිර්මාණය කළ තරුණයාගේ නමින් සෞරග්‍රහ මණ්ඩලයේ තාරකාවක් පවා “කපුගේ” කියා නම් කළා. නමුත් අදත් ඒ තරුණයා ගැරේජ් එකක වැඩ කරනවා. රටක් ගොඩගන්නේ කොහොමද? මේ පාලකයන්ට කිසිම අදහසක් නැහැ.

ඒ වගේම මේ රටේ ගැටුම් නැති ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව ගොඩනඟන්න ඕනෑ. රටක දියුණුවට භෞතික සංවර්ධනය වගේම ආධ්‍යාත්මික සංවර්ධනයක් අවශ්‍යයි. මංමාවත්, ගොඩනැගිලි, ජලාශ, ඇළ මාර්ග, විදුලිය ලබාදීම, විදුලි සංදේශ වගේ දේවල් භෞතික සංවර්ධනයට අදාළයි. ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සමගිය, ආගමික සංහිඳියාව, කරුණාව, මෛත්‍රිය මනුස්සකම අදාළයි. මේ දේවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්න පුළුවන්ද? මේ ගුණාංග පාලකයාගේ මනසේ තිබෙන්න ඕනෑ. අධ්‍යාත්මික වශයෙන් ගොඩනඟන්න මූලිකම පදනම තිබෙන්නේ අධ්‍යාපනය තුළයි. විෂය කරුණු පමණක් නොවෙයි, කලාව සාහිත්‍යය, ජනමාධ්‍යය, යොදා ගන්න ඕනෑ. ජාතික ජන බලවේගය බලය ලබාගෙන රට ගොඩනඟන්නේ මෙන්න මේ ඉලක්ක සහගත ක්‍රියාමාර්ග ඔස්සේ. නමුත් සජිත්ගෙන් හරි රනිල්ගෙන් හරි විසඳුම් ලබාගන්න උත්සාහ කරනවා නම්, අපේ මාතෘ භූමිය මෝචරියට ඇද දමන බව මතක තබා ගන්න ඕනෑ. ඒ අය හාල්, සල්ලි, බෝතල් පවා බෙදමින් යනවා. අපි අපේ දැනුම බෙදමින් ජනතාව දැනුවත් කරනවා. ඔවුන්ට මාධ්‍ය බලයක් තිබෙනවා. නමුත් අපි අපේ කටේ බලය යොදා ගනිමින් රට වටා යනවා. ඔබත් ඔබේ කට පාවිච්චි කරමින් තව දුරටත් මහජන බලය ගොඩනැගීමට එකතු වෙන්න. ලංකාවේ කොතනකින් හරි ඡන්ද 10ක් හදාදීමේ ඉලක්කය වෙනුවෙන් හැමදෙනාම එකතු වෙන්න. මේ සියල්ල තුළින් පැහැදිලි වෙන්නේ වෙන මොන බලයකටත් වඩා මහජන බලය බලවත් බවයි. ඒ මහජන බලය යොදාගෙන නව පුනරුද යුගයක් ආරම්භ කරන්න ජාතික ජන බලවේගයේ ජනධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රහණය කරවමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *