Latestක්‍රීඩාදේශීය

දිල්හානි ලේකම්ගේ අද ඔලිම්පික් තරග බිමට

(ප්‍රින්ස් ගුණසේකර)

ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම් දිනූ හෙල්ල විසිකිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ පැරිස් ඔලිම්පික් උලෙළේ තම ඉසව්වට ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.55ට පිවිසෙයි. ලෝක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතුරින් 25 වැනි ස්ථානයේ සිටින දිල්හානි ලේකම්ගේ අද ඔලිම්පික් බිමේ කරන එකම ප්‍රාර්ථනාව මේ ඉසව්වේ අවසන් ක්‍රීඩිකාවන් 12 අතරට පැමිණීමය. ඇය තම පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා සමඟ ගත වූ දින කිහිපයේදීම ඉතා සාර්ථක පුහුණු සැසිවල නිරතවී අවසන් වටයට පිවිසීමේ දැවැන්ත ඉලක්කයකට දැන් පිවිස සිටින්නීය.

ඔලිම්පික් පැමිණි ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූ 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ මේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන තෙවැනි ඔලිම්පික් ක්‍රීඩිකාව වේ. මෙයට පෙර 1992 බාසිලෝනා ඔලිම්පික් උලෙළේදී විජිතා අමරසේකර මීටර් 48.00ක් හා 2008 බීජිං උලෙළේදී නදීකා ලක්මාලි මීටර් 54.28කින් දස්කම් දැක්වුවද පළමු වටයෙන්ම ඉවතට ගියහ. එම අතීත මතක සටහන් අබිබවා ගොස් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ අලුත් සටහනක් එක් කිරීම දිල්හානි ලේකම්ගේ අපේක්ෂා කරමින් සිටී.

මෙයට මාස දෙකකට පෙර කොරියාවේදී පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනාගනිමින් මීටර් 57.94ක් දුර හෙල්ල විසි කළ දිල්හානි මාස 10කට පෙර චීනයේ හැන්ග්ෂූහි පැවති ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 61.57ක දක්ෂතාවකින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ ආසියානු රිදී පදක්කම දිනා ගත්තාය.

පරකඩුව නම් වූ දුෂ්කර ගම්මානයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසි තම ක්‍රීඩා ජීවිතය අභියෝගවලින් පිරීගිය එකක් බවත්, මුල් පුහුණුකරු අරුණ ශාන්ත හා වත්මන් පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත යන මහත්වරුන්ට සිය ස්තූතිය පුද කරන බවත් ඇය ‘දිනමිණ’ට පැවසුවාය.

“අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම මගේ එකම ඉලක්කයයි. එය ටිකක් දුෂ්කර ඉලක්කයක් බව දන්නවා. නමුත් මගේ පුහුණුකරුගේ උපදෙස් හා සැලසුම් අනුව මෙය කළ හැකි බවට විශාල විශ්වාසයක් මා තුළ තිබෙනවා. හොඳ පුහුණුවක් ලැබුවා. ඒ නිසා තරගයට හොඳින් මුහුණ දෙනවා” ලේකම්ගේ පැවසුවාය.

“දිල්හානි මේ ගමන ආවේ විශාල කැප කිරීමක් කරලා. එහි ප්‍රතිඵලය අද ලබා ගන්නා හැටි අපි සැලසුම් කර තිබෙනවා. ලෝකයේ අති දක්ෂ ක්‍රීඩිකාවන් මේ තරගයට ඉදිරිපත්වී සිටිනවා. ඔවුන් අතුරින් දිල්හානි පෙරැළියක් කළ යුතුයි” හෙල්ල විසිකිරීමේ පුහුණුකරුවකු ලෙස සිය දෙවැනි ඔලිම්පික් උලෙළට සහභාගී වන ප්‍රදීප් නිශාන්ත මහතා පැවසීය. ඔහු ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තගේ ද පුහුණුකරු විය.

අද දින හෙල්ල විසි කිරීමේ තරගයට ජපානයේ හරුකා කිටගුචි, කොලොම්බියාවේ ෆ්ලෝර් රුයිස්, සර්බියාවේ ඇඩ්‍රියානා විලාගෝස්, ඔස්ට්‍රියාවේ වික්ටෝරියා හඩ්සන් සහ ඔස්ට්‍රේලියාවේ මැකෙන්සි ලිට්ල් වැනි ක්‍රීඩිකාවන් ද එක්ව සිටිති.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *