Latestදේශීය

මාතෘ භූමියත් පක්ෂයත් දිනවීමට යළි එක්වෙන්න, ගිය අය යලි එන්න – මහින්ද රාජපක්ෂ

(මහින්ද අලු­ත්ගෙ­දර)

යම් යම් මත­වාද පසෙ­කලා මාතෘ භූමිය සහ පක්ෂය දින­වී­මට යළි එක්ව­න්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ නායක, හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා සිය පක්ෂ­යෙන් වෙන්ව ගිය මන්ත්‍රී කණ්ඩා­ය­මට ආරා­ධනා කර තිබේ.

පසු­ගිය කාලයේ මෙන් එකා­වන්ව එක්ව වැඩ කළ හැකි බව පෙන්වා­දෙන හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ඒ අනුව යළි පක්ෂ­යට එක්ව­න්නැයි ආරා­ධනා කරයි.

හිටපු ජනා­ධි­ප­ති­ව­රයා මේ බව පැවැ­සුවේ බත්ත­ර­මුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණු පක්ෂ මූල­ස්ථා­න­යේදී ඊයේ (07) පෙර­ව­රුවේ පැවති 2024 ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­ත්වය නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත්කි­රීමේ උත්ස­වය අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“අපි ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් අනි­වා­ර්ය­යෙන් ජය­ග්‍ර­හ­ණය කර­නවා. මම දේශ­පා­ල­න­යට පැමිණ වසර 50කට වැඩියි. 1970දී මම දේශ­පා­ල­න­යට පැමි­ණියා. මගේ දේශ­පා­ලන අත්දැ­කීම් අනුව මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් අපි ජය­ග්‍ර­හ­ණය කර­නවා. ජය­ග්‍ර­හ­ණය කර­නවා කිව්වම ඒ සම්බ­න්ධ­යෙන් සතුටු වෙන්න පුළු­වන් අපේ­ක්ෂ­ක­යන් ඉන්නවා. නාමල් රාජ­පක්ෂ ඊට වඩා ප්‍රබ­ලයි. පොහො­ට්ටු­වෙන් ගිය මන්ත්‍රී කණ්ඩා­ය­මට ද යළි එන්න කියා අපි ආරා­ධනා කර­නවා. ඇතැ­මුන් අනි­වා­ර්ය­යෙන් එනවා. පොහො­ට්ටු­වෙන් ගිය පිරි­සට මම ආරා­ධනා කර­නවා අපි සමඟ එක්ව කට­යුතු කරන්න කියලා.

පොහො­ට්ටු­වට ආද­රය කරන ජන­තාව නාමල් රාජ­පක්ෂ පිළි­ගනු ඇතැයි මම විශ්වාස කර­නවා. රටේ තරු­ණ­යන් ටික තරුණ නාය­ක­ත්වය සමඟ ගමන් කරයි. ඒ අය උදව් කරන්න ඕනෙ. වැඩ කරන්න ඕනෙ. එයා­ලගේ වග­කී­මක් ඒක. අර­ග­ලය විසින් ඉල්ලුවේ මෙර­ටට තරුණ නාය­ක­ත්ව­යක්. දැන් අපි ඒ අව­ස්ථාව දී තිබෙ­නවා. ළඟින්ම සිටි පිරි­සක් අපෙන් වෙන්ව යෑම සම්බ­න්ධ­යෙන් කන­ගා­ටු­වක් තිබෙ­නවා. නමුත් දේශ­පා­ල­නයේ ස්වාභා­වය එහෙ­මයි. එනවා. යනවා. නමුත් මම වෙනස් වුණේ නෑ.”

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක නාමල් රාජ­පක්ෂ මහතා

“මා කෙරෙහි විශ්වා­සය තැබීම සම්බ­න්ධ­යෙන් පක්ෂයේ සාමා­ජි­ක­යන්ට මෙන්ම දේශ­පා­ලන මණ්ඩ­ල­යට මාගේ ගෞර­වය පිරි­න­ම­නවා. මේ අභි­යෝ­ගා­ත්මක කාලයේ මේ වග­කීම භාර­දීම පිළි­බ­ඳව ද ස්තූති­වන්ත වෙනවා. පැහැ­දි­ලි­වම අභි­යෝග භාර ගන්න අපි සූදා­නම්. නාය­ක­ත්වය සහ තරු­ණ­යන් අවශ්‍ය වන්නේ අභි­යෝග පව­තින වෙලා­වට. අපි පාක්ෂි­ක­යන් මෙන්ම ප්‍රති­පත්ති කෙරෙහි විශ්වාස කර­නවා. මේ රටේ තරුණ පර­ම්ප­රාව අපේක්ෂා කරන නූතන පර­ම්ප­රාවේ දේශ­පා­ලන බල­වේ­ග­යක් විදි­යට ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ මවු­පි­ය­න්ගේත්, තරු­ණ­ය­න්ගේත් අපේක්ෂා මල්පල ගන්වන්න කට­යුතු කර­නවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­ය­ක­ව­රයා විදි­ය­ටත්, ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා විදි­ය­ටත් අපෙන් ගිය සියලු දෙනාට ගෞර­ව­යෙන් ආරා­ධනා කර­නවා අපත් එක්ක එකතු වෙන්න කියලා. ඒ ගියේ අපත් එක්ක එකට සිටි අයයි. අපි ළඟ හිත් අම­නා­ප­කම් තිබෙන්න ඇති. වෙන­ස්කම් තිබෙන්න ඇති. අපි කාගෙත් අඩු­පාඩු ඇති. ඒවා හදා­ගෙන ඉදි­රි­යට යමු. ඒ සියලු දෙනා­ටම අපි ආරා­ධනා කර­නවා. පැහැ­දි­ලි­වම ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ ජය­ග්‍ර­හ­ණය කර­නවා. මගේ ජය­ග්‍ර­හ­ණය කියන්නේ පක්ෂයේ ජය­ග්‍ර­හ­ණ­යක්. පක්ෂයේ ජය­ග්‍ර­හ­ණය කියන්නේ රටේ ජය­ග්‍ර­හ­ණය. අපි අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙන්න සූදා­නම්.

අපේ ගනු­දෙ­නුව තිබෙන්නේ පාක්ෂි­ක­යන් සම­ඟයි. පාක්ෂි­කයා සහ ජන­තාව ජය­ග්‍ර­හ­ණය කරන්න, රටේ ඒකී­ය­ත්වය ආරක්ෂා කර­මින් රට ජය­ග්‍ර­හ­ණය කරන්න අපි කට­යුතු කර­නවා. පොහො­ට්ටුවේ පෙති ගල­වන්න උත්සාහ කරන්න පුළු­වන්. නමුත් පොහො­ට්ටුව පිපෙ­න්නෙත් මඩේ. නැට්ට හෝ මල හෝ තිබෙන්නේ ජන­තාව ළඟයි. යම් යම් අය උත්සාහ කරන්න පුළු­වන්. නමුත් ජන­තාව අව­සන් තීන්දුව ගනී. මට වග­කී­මක් පැවරී තිබෙ­නවා. ඒ වග­කීම ඉටු කර­නවා.”

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ මහ­ලේ­කම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරි­ය­ව­සම් මහතා

“2024 ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ විජ­ය­ග්‍රාහී ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­කයා නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් කර­නවා. අපේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­කයා තෝරා පත්කර ගැනී­මේදී මූලික කරුණු කිහි­ප­යක් දැඩිව සැල­කි­ල්ලට ගෙන තිබෙ­නවා. එම සැල­කි­ලි­ම­ත්භා­වයේ ප්‍රමුඛ අපේ­ක්ෂාව වූයේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ගැ­නීම සහ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව මාතෘ භූමි­යේත්, පොදු මහ­ජ­න­තා­ව­ගේත්, සමස්ත ශ්‍රී ලාංකේය සමාජ පද්ධ­ති­යේත් යහ­පත සහ දියු­ණු­වයි. ඒ අනුව 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ අපේ­ක්ෂ­ක­ත්වය පිළි­බඳ අව­සන් නිග­ම­න­ය­කට එළැ­ඹී­මේදී දැඩිව අප විසින් අව­ධා­න­යට ගත් කරුණු කිහි­ප­යක් තිබෙ­නවා.

ස්වදේ­ශික සංස්කෘ­තික හර පද්ධ­තීන් පිළි­ගෙන ඊට ගරු කර­මින් කට­යුතු කළ හැකි සහ සමස්ත ශ්‍රී ලාංකේය ජන හද­වත් දිනා ගත හැකි ආක­ර්ෂ­ණීය නැවුම් නාය­කත්ව ලක්ෂ­ණ­ව­ලින් හෙබි අයකු වීම, තත්කා­ලීන සමාජ, ආර්ථික සහ දේශ­පා­ල­නික තත්ත්ව­යන් පිළි­බඳ ප්‍රාමා­ණික අව­බෝ­ධ­ය­කින් යුතුව රට හමුවේ පව­තින අභි­යෝග ජය ගනි­මින් පොදු ජාතික අභි­ලාෂ ජය­ග්‍ර­හ­ණය කළ හැකි අයකු වීම, මහින්ද චින්තන ජාතික න්‍යාය පත්‍රයේ මූලික ප්‍රමි­තීන් අනු­ග­ම­නය කර­මින් අප රට සතු ජාතික සම්පත් සහ අන­න්‍ය­තාව සුර­ක්ෂිත කර පෝෂ­ණය කර­මින් අනා­ග­ත­වාදී දැක්ම­කින් යුතුව දියුණු ජාතික ආර්ථි­ක­යක් වෙත මව්බිම ඔසවා තැබිය හැකි අලුත් නාය­ක­යෙක් වීම අවශ්‍ය වෙනවා.

ඊට අම­ත­රව අභි­යෝග රැසක් මැද ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ බිහි­කළ සහ පසු­ගිය ජාතික මැති­ව­රණ තුනේ­දීම අද්වි­තීය ජය­ග්‍ර­හණ වෙත අප පක්ෂය ඔසවා ලැබූ මිලි­යන සංඛ්‍යාත ජන සමූ­හයේ පොදු ජන අපේක්ෂා යථා­ර්ථ­යක් බවට පත්කළ හැකි අයකු වීම, නූතන ලෝකයේ අති­න­වීන ප්‍රව­ණතා පිළි­බඳ යාව­ත්කා­ලීන දැනු­මක් සහි­තව ගෝලීය සමාජ සහ ආර්ථික පසු­ත­ල­යෙහි ශ්‍රී ලංකා ජන­ර­ජයේ නාමය අන­ගි­භ­ව­නීය අන­න්‍ය­තා­වක් ලෙස සට­හන් තැබිය හැකි අලුත් නාය­ක­යකු වීම ආදිය ගැඹු­රින් විම­ර්ශ­න­යට ලක්ව තිබෙ­නවා. මේ සියලු කරුණු සැල­කි­ල්ලට ගැනී­මෙන් අන­තු­රුව 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ විජ­ය­ග්‍රාහී ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස නාමල් රාජ­පක්ෂ මහතා නම් කරන බව ප්‍රකාශ කර­නවා.”

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ නිර්මාතෘ බැසිල් රාජ­පක්ෂ, රාජ්‍ය ඇමැ­ති­ව­රුන් වන ඉන්දික අනු­රුද්ධ, ඩී. වී. චානක, මොහාන් ප්‍රිය­ද­ර්ශන ද සිල්වා, ප්‍රසන්න රණ­වීර, තේනුක විදා­න­ග­මගේ, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීර­සේ­කර, සංජීව එදි­රි­මාන්න, තිස්ස කුට්ටි­ආ­රච්චි, නිපුණ රණ­වක, ජයන්ත කැට­ගොඩ යන මහ­ත්ව­රුන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *