Latestදේශීය

පුළුවන් නම් ටිරාන්ට “හොරා” කියන්න – චම්පිකගෙන් මාලිමාවට විවෘත අභියෝගයක්

දුෂණයට එරෙහි බව පවසමින් ෆයිල් රැගෙන තැන තැන යන මාලිමාවට මෙරට දේශ සීමාව ඉන්දියාවේ පෙට්ටි කඩයකට විකුණු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නම අමතක වී ඇති බවත් හැකිනම් ජාතික සම්පත් සුරකින්න බවට තරුණයන් රවටමින් කතා පවත්වමින් යන මාලිමාව ටිරාන් අලස් මහතාට ‘හොරා’ කියා ප්‍රසිද්ධියේ කියන ලෙසට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අභියෝග කර සිටි.

චම්පික රණවක මහතා විසින් මාලිමාවේ නායකයන් හට මෙම අභියෝගය කරනු ලැබුවේ  පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේ පවත්වනු ලැබූ එක්සත් ජනරජ පෙරමුණු පිළියන්දල ජනහමුව අමතමිනි.

මේම ජනහමුව එක්සත් ජනරජ පෙරමුණේ මුහුදුබඩ කලාප නායක කැස්බෑව ආසන සම්බන්ධීකාරක සුනිමල් ජනරංජන පෙරේරා මහතා ගේ මුලිකත්වයෙන් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් බොහෝ පිරිසක් සම්බන්ධ විය.

එහිදී ජනහමුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්:

“ගෝඨාභය ඇතුළු වසල ජාතිකවාදියෝ ගියේ නිකන් නෙවෙයි මේ රටේ ලක්ෂ 220 ක් මිනිස්සුන්ව යාචකයෝ කරලා. තමිල්නාඩුවේ යාචකයින්ගේ සල්ලි වලින් තෙල් ගහන්න පුළුවන් රටක් හදලයි ඒ රැල ගියේ. ඒ රැල දැන් ආයෙත් ඇවිල්ලා අපට දේශනා දෙනවා. උසාවියෙන් රට බංකොලොත් කරන්න වැරදිකාරයෝ බවට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්තයා පත් කළා විතරක් නෙමෙයි මේ රටේ තෙල් පෝලිම් හදලා රට රවට්ටපු ඒ වසල පිරිස සියලු දෙනාම මේකට වගකිව යුතු බව අපි බොහොම අවධාරණයෙන් කියනවා.

අපි ස්තුතිවන්ත වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඇයි? එතුමා අද නාමල් රාජපක්ෂ එතනට දාලා තියෙනවා.  හුඟක් දෙනෙක් හිතුවා හැට නම ලක්ෂයේ ජනතාව ඡන්දේ දීලා අවසානයේ මේ පක්ෂය කැසිනෝ මුදලාලි කෙනෙකුට වික්කා නේද කියලා. අන්තිමට වුණේ මොකක්ද? ධම්මික පෙරේරාට වුණේ ඔය මහින්ද රාජපක්ෂලා පස්සේ ගිය අනිත් සියලු දෙනාට වෙච්ච දේ තමයි. මොකක්ද? පොල්කුඩු ගානට වැටිලා එතනින් දේශපාලනයෙන් ඉවත් වෙලා යන එක. අපි සතුටු වෙන්න ඕනේ පොහොට්ටුව ලකුණෙන් එන, නාමල් රාජපක්ෂ මහත්තයාව බින්දුවට වට්ටලා, අපේ වෛරයයි, කෝපයයි ප්‍රජාතන්ත්‍රවාදීව පළකරන්න අපිට අවස්ථාවක් දීම ගැන, මහින්ද රාජපක්ෂට. මහින්ද රාජපක්ෂට 2022 මැයි 09, ජූලි 09 ඉගෙන නොගත්ත පාඩම ලබන සැප්තැම්බර් 21 වෙනිදට උගන්නන්න අධිෂ්ඨාන කර ගමු කියලා ජනතාවගෙන් අපි ඉල්ලනවා.

අද මේ රටේ මහජන ආරක්ෂක ඇමති කියන පුද්ගලයා මොකද කරලා තියෙන්නේ? මේ රටේ දේශ සීමාව ඉන්දියාවේ පෙට්ටි කඩයකට පාවා දීලා තියෙනවා. කෝ අද දේශප්‍රේමියෝ? කෝ අද ජාතික සම්පත් සුරකින්න කතා පවත්වපු කට්ටිය? ලංකා ඉතිහාසයේ කරපු ලොකුම වංචාව ඩොලර් මිලියන 2.7 ක්. දූෂණය ගැන ෆයිල් පෙන්න පෙන්න කතා පවත්වන අයට මහජන ආරක්ෂක ඇමතිගේ නම මතක නෑ, මේ දූෂණය මතක නෑ. ඇයි? මේගොල්ලෝ ඔක්කොම ගෙනියන්නේ දවල් මිගෙල් රෑ ඩැනියල් ක්‍රියාවලියක්. අපි මාලිමාවට විවෘත අභියෝගයක් කරනවා පුළුවන්නං ටිරාන් අලස්ට ‘හොරා’ කියලා පෙන්නන්න. ඔහුගේ විදේශ රටවල් වල තියෙන දේපොළ පිළිබඳව ගිය අවුරුද්දේ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළා. හරිනම් මොවුන් අරගෙන යන්න ඕන නේද අල්ලස් දූෂණයට? ඒ නිසා අපි කියනවා ඒ මහත්තයට, ඔයාට දඬුවම් දෙනකම්ම අපි මේ අරගලය ගෙනියනවා කියන එක. ආගමන විගමන පාලකතුමාටත් බොහොම පැහැදිලිව අපි කියනවා. දූෂිත ෆයිල් කාරයෝ තරුණ සම්මේලනවල කතා පවත්වනවා, විදේශ වලට ගිහිල්ලා කතා පවත්වනවා. හැබැයි රටේ දේශසීමාවෙන් එලියට යන්න ඇතුලට එන්න තියෙන ඩොලර් ටික වළක්වලා තියෙන මේ දූෂණය ගැන නිහඬයි. ඒ නිසා අපි නිහඬ වෙන්නෑ. අපට එයාගේ මාධ්‍ය වලින් මඩ ගැහුවත් අපි නිහඬ වෙන්නෑ. යුක්තිය ජය ගන්නා තෙක්ම අපි සටන් කරනවා.

දැන් ඊළඟ ජනාධිපතිවරණය ගැන අහනවා අපේ ස්ථාවරය මොකක්ද? ඕගොල්ලෝ ඉල්ලනවද? නැත්නම් අපේක්ෂකයෙකුට සහාය දෙනවද? කියලා අහනවා. අපි කරුණු කිහිපයක් අවධාරණය කරන්න කැමතියි. එක මේ රට සෘජුව හෝ වක්‍රව බංකොලොත්භාවයට පත් කිරීම වෙනුවෙන් වගකිවයුතු ජනතාව නොමඟ යවපු අපේක්ෂකයෝ ඉන්නවනම් ඒ කිසි අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය දෙන්න එපා කියලා රට දැනුවත් කරන ව්‍යාපාරයක් බවට මේ ජනාධිපතිවරණය අපි පත් කරගන්නවා. අංක දෙක ව්‍යාජ විප්ලවවාදී යෝජනා පරාජය කරලා මේ ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. මේ ස්ථාවරත්වය මත පදනම් වෙලා, රටේ ආර්ථික වර්ධනයක් ඇති කරගන්න. ණය ගෙවන්න පුළුවන් ශක්තිය තියෙන රටක් ඇති කරගන්නට, රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙල, දේශය වෙනුවෙන් එක්වන පියවරක් හැටියට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල, ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි මේ ජනාධිපතිවරණය පාවිච්චි කරනවා.

රටේ රාජ්‍ය නායකයාට හොඳ කණ්ඩායමක් ඕනේ. ඒ කණ්ඩායම් අත්හදා බලන්න වෙලාවක් නෑ. සමහරු මේ අලුත් අත්හදා බැලීම් කරනවා. ගෝඨාභය මහත්තයත් අත්හදා බැලුවා. මතකද? ධම්මික පැණිය අත්හදා බලලා තිස්දාහක් වලපල්ලට ඇරියා මතකද? ඒ වගේම ගොවිතැන අත්හදා බලන්න ගිහිල්ලා, රටේ රජකාලේ ඉඳන් ආපු, ගොවි ජනතාව යාචකයෝ බවට පත්කරපු හැටි මතකද? ඒ වගේ අත් බැලීම් කරන්නැතුව මේ රටත් පළපුරුදු කණ්ඩායමක් අතට අවංක පිරිසක් අතට නව පාර්ලිමේන්තු බලයක් කරා මේ ජනාධිපතිවරණය ගෙන යාම වෙනුවෙන් අපි මේ ජනාධිපතිවරණය පාවිච්චි කරනවා. මෙන්න මේ අපි කියපු කාරණාත් එක්ක අපි ඉදිරි දින කිහිපය ඇතුලත තෝරාගත් අපේක්ෂකයා කවුද? කියන එක ප්‍රකාශ කරනවා. ඒ අපේක්ෂකයා රටේ ඊළඟ නමවෙනි ජනාධිපති කිරීම සඳහා අපි එකාවන්ව අධිෂ්ඨානයෙන් ක්‍රියාකරන බව බොහොම පැහැදිලිව කියනවා.”

එමෙන්ම එක්සත් ජනරජ පෙරමුණේ මෙම පිළියන්දල ජනහමුව අමතමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව අනෙක් විපක්ෂ කණ්ඩායම්ද පාඨලී චම්පික රණවක මහතා තම කණ්ඩායමට ලබාගැනීම සඳහා උත්සහ දරන බවත් එයට හේතුව චම්පික රණවක මහතා ඕනෑම ආණ්ඩුවකට රට ගොඩනැගිය හැකි නිවැරදි දැක්මක්, බුද්ධියකින් ඇති නායකයෙකු වීම නිසා බවයි. නමුදු රජුන් තනන දැක්මක් සහිත නායකයෙකු වන පාඨලී චම්පික රණවක මහතා වරදාන වරප්‍රසාද වලට සම්බන්ධ වන නායකයෙකු නොවන බවත් ඔහු තෝරාගනු ලබන්නේ ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කළ හැකි දුෂණ විරෝධී කණ්ඩායමක් සමඟ බව පක්ෂයේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

චම්පික රණවක රටට වැඩ කළා කියා කීවද කොහෙවත් බෝඩ් නෑනේ කියා ජනතාව අසන බව එක්සත් ජනරජ පෙරමුණේ මුහුදුබඩ කලාප නායක කැස්බෑව ආසන සම්බන්ධීකාරක සුනිමල් ජනරංජන පෙරේරා මහතා මෙම හමුවේදී ජනතාව අමතමින් පවසා සිටි අතර එහිදී ඒ මහතා පවසා සිටියේ පාඨලී චම්පික රණවක මහතාගේ නම නාම පුවරුවල නැතිවීමට හේතුව ඒ මහතා කටයුතු කරන ලද්දේ නම ප්‍රචාරය කිරීම සඳහා නොවන බවත් රටේ දරුවන්ගේ හෙට දවස ශක්තිමත් කිරීම සඳහා බවත්ය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ කැළණි වැලි කලාප නායක කඩුවෙල ආසන සංවිධායක බෝසෙත් කළෙහ්පතිරණ මහතා පවසා සිටියේ දශක ගණනාවක් පාසල් වල ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස උගන්වමින් පැමිණ මේ වනවිට බංකොලොත් රටක් බවට ඉගැන්වීමට සිදුව ඇති බවයි. එයට හේතුව මේ වනතෙක් නිවැරදි නායකත්වයක් රට විසින් තෝරා නොගැනීම බව ඒ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍යව ඇත්තේ නිවැරදි දැක්මක් සහිත නායකයෙකු බවත් එය මේ වනතෙක් ජතවගෙන් මඟහැරී ඇති බවත් බෝසෙත් කළෙහ්පතිරණ මහතා පවසයි. නමුදු මේ වනවිට ලංකා දේශපාලනයට සුදුසු නිවැරදි දැක්මක් ඇති නායකයෙකු ලෙස පාඨලී චම්පික රණවක මහතා බිහිව ඇති බවද ඒ මහතා ජනතාව අමතමින් පවසන ලදී.

ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය වේවා ආණ්ඩුව හෝ විපක්ෂය වේවා මැතිවරණ වලදී ජයග්‍රහණය කරනු ලබන්නේ පාඨලී චම්පික රණවක මහතා නියෝජනය කරන පාර්ශවය බව කොළඹ කලාප නායක, බොරැල්ල ආසන සංවිධායක කිංස්ලි පෙරේරා මහතා පවසයි. එය විශ්වාසයක් නොවන බවත් එය සදාතනික ඇත්ත බව ඒ මහතා පවසයි. මේ නිසාවෙන් දේශපාලන පක්ෂ පාඨලී චම්පික රණවක මහතා තම පාර්ශවයට ගැනීමට නිතර පැමිණෙන නමුත් ඒ මහතා ගනු ලබන්නේ රටට අවැසි නිවැරදි පාර්ශවය බව කිංස්ලි පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටි.

ලෙෂාන් විදානගමාච්චි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *