Latestදේශීය

ඕනෑම ආපදා තත්ත්වයක් තුළ ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්

එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර මෙම ජනාධිපතිවරණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයක දී, ඡන්ද බලය හිමි සියලු පුරවැසියන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ බලධාරීන් මේ වන විටත් කටයුතු යොදා ඇත. 


ඉදිරි ජනාධිපතිවරණයේ දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ආපදා කළමනාකරණ වැඩසටහන පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුලු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පසුගිය දා(13) දින පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ හා උපදෙස්වලට අනුකූලව ඕනෑම හදිසි ආපදා අවස්ථාවකදී පවා සෑම පුරවැසියෙකුටම තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග සහ අවශ්‍ය පහසුකම් සපයන බවයි.

එමෙන්ම ඒ සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත්, විශේෂයෙන්ම මැතිවරණ කාලසීමාව තුළ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සූදානම් කරන බවත් පැවසීය.


එමෙන්ම මැතිවරණ කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සෘජු අධීක්‍ෂණය යටතේ විශේෂ දිස්ත්‍රික් ආපදා මැතිවරණ කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කරන බවත්, සියලු ආපදා කළමනාකරණ කටයුතු මෙම ඒකකය හරහා සිදුකරන බවත්, ඕනෑම හදිසි ආපදා තත්වයක් පිළිබඳ දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 117 හදිසි දුරකථන අංකය තවදුරටත් ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එම සාකච්ඡාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *