Latestදේශීය

අසීරුම අවස්ථාවලදිත් ජාතිවාදයට ‌නොවැටුනේ ජාතික ජන බලවේගය පමණයි – අනුර දිසානායක

අනෙකාට විරුද්ධව හැදෙන ආන්ඩු වෙනුවට ජාතික සමගිය වෙනුවෙන් සියලු ජනකොටස් හී අනුමැතියෙන් බහුතරය දිනාගත් ආන්ඩුවක් නිර්මාණය කරගැනීම අත්‍යාවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පල කළේ ඊයේ (21) අකුරණ පැවති ජන රැලිය අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

අපේ මෙතෙක් කල් ආණ්ඩු හැදුණේ අනෙකාට විරුද්ධව. උතුරට එරෙහි දකුණේ ආණ්ඩු, මුස්ලිම් ජනයාට එරෙහි ආණ්ඩු. හැදුවා. 2019 මැතිවරණ ව්‍යාපාරය දියත් වුණේ මුස්ලිම් ජනයාට එරෙහිව. මහනුවර දිස්ත්‍රික්කයේ කවර පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළත් අකුරණ, හාරිස්පත්තුව, මහනුවර ප්‍රදේශ නියෝජනය කරමින් මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා. ගිය සැරේ පොහොට්ටුවේ අපේක්ෂක ලැයිස්තුවේ මුස්ලිම් අපේක්ෂකයන් හිටියේ නැහැ. මුස්ලිම් ජනතාවට එරෙහිව ඔවුන් ඡන්ද ව්‍යාපාරය දියත් කළා. කළුතර හා කොළඹ ලැයිස්තුවලත් නැහැ. ඔවුන් ඡන්ද ව්‍යාපාර දියත් කළේ අනෙකාට එරෙහිවයි. අනෙකාට එරෙහිව ආණ්ඩු හදලා රටේ සමගිය හදන්න බැහැ. ඒ නිසා ලංකාවේ පළමු වැනි වතාවට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගි සම්පන්න ආණ්ඩුවක් හදන්න ඕනෑ. මේ හැමෝගෙම බහුතරය දිනාගත් ආණ්ඩුවක් හදන්න ඕනෑ. මේ හැමෝම සහයෝගය දෙනවා නම් එතන තමයි ජාතික සමගිය ගොඩනැගීමේ ආරම්භය.

අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා, ගම්මාන මට්ටමෙන් සංවිධාන යාන්ත්‍රණය එළලා, සමාජයේ විවිධ කණ්ඩායම් බලවේග විදිහට පෙළගස්වලා, ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කොට තිබෙනවා. මේ ජනාධිපතිවරණයේදී ශක්තිමත්ව, ක්‍රමවත්ව, පිළිවෙළකට මැතිවරණ ව්‍යාපාරය දියත් කොට තිබෙන්නේ ජාතික ජන බලවේගයේ අපියි. ජනතාවට තීන්දු ගන්න මේ මැතිවරණ ව්‍යාපාරය දෙස බැලුවත් ඇති. මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා මේ වෙනකම් රනිල් පවත්වලා තිබෙන්නේ එක රැස්වීමයි. ඒකත් රටෙන්ම ඇදලා. ජනතාව ආමන්ත්‍රණය කිරීමක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ නැහැ. රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සම්පූර්ණයෙන්ම රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් මුළුමනින්ම මැතිවරණ ව්‍යාපාරයට යොදවනවා. මුළු එක්සත් ජාතික පක්ෂයම නඩත්තු වෙන්නේ ආණ්ඩුවෙන්. රනිල් ආණ්ඩුවෙන් නඩත්තු වුණාට කමක් නැහැ. හැබැයි ජනාධිපති උපදේශක සාගල, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශකයෙක් වන අකිල විරාජ් ඇතුළු මේ සියලු දෙනාට ආණ්ඩුවෙන් පඩි, වාහන, තෙල්, ආරක්ෂාව ඔක්කෝම ආණ්ඩුවෙන්. ජාතික සංවිධායක, සබරගමුවේ සංවිධායක, නවීන් දිසානායක, ආණ්ඩුවෙන් ගෙවල්, පඩි, වාහන, තෙල්, සල්ලි. ආශු මාරසිංහ තවත් ජනාධිපති උපදේශක කෙනෙක්. ආණ්ඩුවෙන් පඩි, වාහන, තෙල්, ආරක්ෂාව. හරීන් ප්‍රනන්දු, මනුෂ නානායක්කාර දෙන්නා අමාත්‍ය ධුර හෙබවූයේ ආණ්ඩුවේ වාහන, සල්ලි, තෙල්, ආරක්ෂාව, ඇතිව. ආණ්ඩුවේ සල්ලිවලින් සංගීත සංදර්ශන තියනවා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගිහින් තරුණ තරුණියන් එකතු කරනවා. නඩු තීන්දුවකින් මන්ත්‍රීකම නැතිවුණා. ඒ එක්කම ඇමතිකමත් නැති වුණා. මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු දැන් ජනාධිපති උපදේශකවරුන්. මේ තරම් උපදේශකවරු ඉන්නෙ රනිල් මෝඩයෙක්ද? මේ කරන්නේ ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම සඳහා උපදේශක තනතුරු දෙනවා.

ඒ විතරක් නොවෙයි. ජනාධිපති ඡන්දෙට තව දවස් 30යි. ඒ කාලෙටත් ඇමතිකම් දෙකක් දෙනවා. සුරේෂ් වඩිවෙල්ට, අලි සහීබ් මවුලානාට රාජ්‍ය ඇමතිකම් දෙනවා. මේ මොකටද, ආණ්ඩුවෙන් වාහන, තෙල්, පඩි, ලැබෙනවා, ඒ වගේම ඡන්දෙට ආණ්ඩුවේ ව්‍යාපෘති කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ කියනවා පොලිස්පති පත්කරන්න බැහැ. එම පත්කිරීම මැතිවරණ කාලේ වැරදියි කියලා. හැබැයි මව්ලානා, සුරේෂ වඩිවේල් පත් කරන්න පුවළුන්. මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු උපදේශකවරුන් ලෙස පත් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහගේ මුළු කැම්පේන් එක තිබෙන්නේ ආණ්ඩුවේ සල්ලි, වාහන, තෙල්, ආරක්ෂාව මත. ඡන්දයකදි අපේක්ෂකයන්ට සමාන ලෙස තරග වදින්න ඉඩ තියෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ තරග වදින්නේ ආණ්ඩුවේ භාණ්ගාරයේ සල්ලිවලින්. අපි තරග වදින්නේ ජාතික ජන බලවේගයෙන්. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ එක පැත්තකින් අවලාද. අනෙක් පැත්තෙන් ෆොටෝ එකක්. ඡායාරූපයක් ගන්නවා, වීඩියෝ එකක් ගහනවා, බ්රේකින් නිව්ස් එකක් ගහනවා. එක උස මෑන් කෙනෙක් හැමතැනටම ගිහින් යන්න තැනක් නැතිව අවසානේ සජබයට ගියා. නගර සභාවේ කුණු ලොරියට ගියා. කිසි මතයක්, ප්‍රතිපත්තියක් තිබෙන කඳවුරක් නොවෙයි. ක්‍රිකට් බෝඩ් එකට සූදුව ගෙනාවේ, ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි විනාශ කළේ, ෂම්මි සිල්වලා පස්සේ ඉන්න තිලංග සුමතිපාල කියලා කෑ ගැහුවා. ක්‍රිකට් බෝඩ් ඒකෙ ආරක්ෂකයා අර්ජුන රණතුංග කිවුවා. ඒ තිලංගයි, අර්ජුනයි දෙන්නාම සජිත්ලා ගාව. ක්‍රිකට් බෝඩ් එක විනාශ කළ කෙනයි, එය ආරක්ෂා කරනවා කියන කෙනයි දෙන්නාම එකම තැනක. මේ දේශපාලනය මොකක්ද? ඒගොල්ලන්ට තිබෙන්නේ එහෙන් මෙහෙන් කට්ටිය එකතු කරන දේශපාලනය විතරයි. ඔය ගොඩක් අය සජිත් ගාවට ළඟට යන්න කලින් අපේ දොරටත් තට්ටු කළා.

අපට එහෙම ඕන නැහැ. අපට තිබෙන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්. අපේ මේ වේදිකාවේ ඉන්න හැමදෙනාම යම් ප්‍රතිපත්තියකට එකඟ වූ, අවංක, අදූෂිත අය. ඒ වගේම මේ රටත්, ජාතියටත් අසීමිත ලෙස ආදරය කරන අය. ඒ ගොල්ලන්ගේ වේදිකාවේ ඉන්නේ කොහොම හරි ඇමතිකමක් ගන්න බලාගෙන ඉන්න අය. මේ මැතිවරණය දිහා බැලුවත් ඇති දිනවන්න ජාතික ජල බලවේගය දිනවන්න ඕනෑ කියන තීන්දුව ගන්න. තිස්ස අත්තනායක පසුගිය දා ප්‍රකාශයක් කරනවා, “නුවර පෙරහැර නතර කරනවා කියලා” හරිනි සහා්දරිය කිවුවා කියලා. තිස්ස කියන්නේ 2015 මෛත්‍රීගෙ පිලයි, සම්බන්ධන්ලාගේ පිලයි රට බෙදන්න ගිවිසුමක් ගහලා කියලා කූට ලේඛන හදලා හිරේ ගියපු කෙනා. ඒකට තිස්ස අත්තනායක සමාව ගත්තේ නැත්නම් ආපහු තිස්ස අත්තනායක හමුවෙන්නේ අධිකරණයේදි. මේ බොරු, අසත්‍ය අවලාද ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ. චරිත හේරත් කුරුණෑගල ගිහින් කියනවා අපි අවහම අත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවාලු. මීට සති දෙක තුනකට පෙර චරිත හේරත් අපිට කොළ එළිය දමමින් හිටියා. අපි ගත්තේ නැහැ. මේවා කියන්නේ ඒ ගොල්ලන්ගේ ක්‍රියාව වෙලා තිබෙන්නේ අවලාද නිසා. දැන් රාවුෆ් හකීම් මුස්ලිම් ජනතාව කේන්ද්‍ර කරගෙන අවලාද පටන්ගෙන තිබෙනවා. අපි කිව්වාලු, “සහරාන්ලා, ත්‍රස්තවාදීන් බිහි වෙන්නේ මුස්ලිම් අම්මාගේ ගර්භාෂයෙන්” කියලා. වට්ස්ඇප්වල යනවා. හකීම් තැන තැන කියමින් යනවා. සහරාන්ගේ සිද්ධිය සිදුවුණාට පස්සේ පාර්ලිමේන්තුවේ මම කළ කතාවක් තිබෙනවා. ඒක බලන්න මම කිව්වේ මොකක්ද කියලා. මම කිවුවා “මේ ත්‍රස්තවාදය, සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රචණ්ඩ ක්‍රියා, ත්‍රස්තවාදී ගැටුම්, ඇති වන්නේ අන්තවාදීන්ගේ ගර්භාෂයෙන්” කියලා. හකීම්ට සමහර විට මම කිවුව වචනය තේරුනේ නැද්ද දන්නේ නැහැ.

දිගනට, අලුත්ගමට පහර දෙන්නේ පොදු සිංහල ජනයා නොවෙයි. අන්තවාදී, සිංහල ජාතිවාදී ගර්භාෂය තුළ ගොඩනැගුණු ප්‍රචණ්ඩත්වය. ප්‍රභාකරන්ලා බිහි වෙන්නේ දෙමළ ජාතිවාදී ගර්භාෂයේ. සහරාන්ලා බිහි වුණෙත් මුස්ලිම් අන්තවාදී ගර්භාෂයේ. ජාතික ජන බලවේගයේ අපි මොනතරම් අසීරු අවස්ථාවලදිවත් ජාතිවාදයට නොවැටුණු අයයි. මේ රට පත්වෙලා තිබෙන විපත්තියේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කෝම වින්දිතයන් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඔක්කෝගෙම වගකීමක් තමයි මේ විපත්තියෙන් මේ රට මුදා ගැනීම. ඒ මුදා ගැනීම සඳහා තිබෙන ආරම්භක අවස්ථාව තමයි සැප්තැම්බර් 21 දවස. ජාතික ජන බලවේගය අතට දේශපාලන බලය මාරු කර ගැනීම. අපි පළමුවෙන්ම දේශපාලකයා ආදර්ශය දෙන්න පටන් ගන්නවා. ඇමතිවරයා මහජනයාගේ සේවකයෙක් කියන සංකල්පයට අපේ රටේ දේශපාලනය පරිවර්තනය කරනවා. අපේ රටේ තිබුණු පළි ගැනීමේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. අපි දිනලා ජයග්‍රහණය සැමරීමේ ආදර්ශයත් අපි මේ රටට දෙමු. පියවරෙන් පියවර මේ රට හදන්න පටන් ගනිමු.

පළමුව ජාතික සමගිය ගොඩනගන්න ඕනෑ. අලුත් ව්‍යවස්ථාවක් අපි සම්මත කර ගන්නවා. කතා කරන භාෂාවේ අයිතිය, අදහන ආගමේ අයිතිය, අනුගමනය කරන සංස්කෘතියේ අයිතිය පිළිගන්නා රාජ්‍යයක් බවට පරිවර්තනය කරනවා. හැමෝටම සමානව සලකන ආණ්ඩුව බවට පත් කරනවා. ආණ්ඩුවට ධනය එන්නේ කොහොමද? එළියේ කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයා, ධීවර කර්මාන්තයේ ඉන්න ව්‍යවසායකයා, කෘෂිකර්මාන්තයේ ඉන්න ගොවියා රටට ධනය උත්පාදනය කරනවා. ඒ ගොල්ලන් උපයන ධනයෙන් බද්දක් ලෙස යම් ප්‍රමාණයක් ආණ්ඩුවට අරගන්නවා. භාණ්ඩාගාරයට සල්ලි වැඩි කර ගන්න නම්, තව තවත් කර්මාන්ත, ව්‍යාපාර, ඇති කරන්න ඕනෑ. ධීවරයා මත්ස්‍ය අස්වැන්න වැඩි කරන්න ඕනෑ. එතකොට රටේ ධනය වැඩි වෙනවා. භාණ්ඩාගාරයටත් ධනය එකතු වෙනවා. රට පොහොසත් වෙනවා, ආණ්ඩුවත් පොහොසත් වෙනවා. එතකොට අධ්‍යාපනය සඳහා, සෞඛ්‍යය සඳහා සල්ලි ආණ්ඩුවෙන් වැඩිපුර ගලාගෙන එනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වැඩේ තමයි, ව්‍යවසායකයාට, කර්මාන්තකරුවාට සහාය දීලා ඒ අයගේ ධනය වැඩි කිරීම. ඒ වගේම අලුත් ව්‍යාපාරිකයන් හදන්න ඕනෑ. එතකොට තමයි භාණ්ඩාගාරයට වැඩිපුර සල්ලි එන්නේ.

අපි ආරම්භ කරනවා අලුත් සංවර්ධන බැංකුවක්. ඕනෑම තරුණයෙකුට පුවළුන් තමන් ආරම්භ කරන ව්‍යාපාරය පිළිබඳව ව්‍යාපෘති වාර්තාවක් දෙන්න. ඒ ව්‍යාපෘති වාර්තාව සැලකිල්ලට භාජනය කරලා, ශක්‍යතාවයෙන් යුතු ව්‍යාපෘතියක් නම්, ආණ්ඩුව බැංකුවට ගැරන්ටියක් දෙනවා. එවිට තරුණයාට සල්ලි ලැබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරියා අදියරෙන් අදියර මේ ගැන සොයා බලනවා. ඒ තුළ අලුත් කර්මාන්තකරුවෙක් හැදෙනවා. ජාතික ජන බලවේගයේ සංවර්ධන බැංකුවේ සංකල්පය ඒක. අපි ඇප රහිත ණය මුදලක් දෙන්නේ. අලුත් කර්මාන්තකරුවන්, අලුත් ව්‍යවසායකයන් බිහිකරන්න ආණ්ඩුව අතහිත දෙනවා. අපි ලෝකයේ ආර්ථිකය සොයා යන්න ඕනෑ. අප්‍රිකානු කලාපයේ දැවැන්ත ව්‍යාපාරයන් කරන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. අප්‍රිකානු කලාපයේ විශාල අවස්ථාවන් තිබෙනවා. නමුත් තානාපති කාර්යාලයක් නැහැ. අපි ඉතා ඉක්මනින් තානාපති කාර්යාල අරිනවා. අලුත් වෙළඳපොළ හොයන්න හොඳ තරුණ කණ්ඩායමක් යවනවා. ඒ අවස්ථාවන් සොයා ඒ සඳහා රජය මැදිහත් වෙනවා.

අපි සියලු දෙනා එකතු වෙලා, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වෙලා, විශ්වාසය තිබෙන ආණ්ඩුවක්, විශ්වාසය තිබෙන පාලනයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් මාසේ 21දා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න වැඩ කරන්න, මැදිහත් වෙන්න, එකතු වෙන්න.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *