Latestදේශීය

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග කඩකළ රනිල්ගේ තීරණ ව්‍යවස්ථාවට පටහැනියි – ජී එල් පීරිස්

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව රටේ මැතිවරණ නොපවත්වා සිටි බවත් ව්‍යවස්ථාවට පටහැනිව දේශබන්දු රටේ පොලිස්පති ලෙස පත්කළ බවත් පොලිස්පතිවරයෙක් පත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක නොකර සිටි බවත් ජී එල් පීරිස් මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ පසුගිය කාල වකවානුවේදී ආණ්ඩුව සිදුකළ VFS වීසා මගඩියේන් පමණක් රටට වූ පාඩුව ඩොලර් බිලියන 1.4ක් බවත් එම වංචාවෙන් පසු පෙර පරිදි වීසා නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගය පවා මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකර සිටි බවයි.

ඔහු මෙම අදහස් පල කලේ ඊයේ (22) මොරටුවේ පැවති සමගි ජන බලවේගයේ ජනරැලියක් අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී එල් ජීරිස් මහතා,

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ මුදල් ඇමැතිවරයා ලෙස රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ලබාදීලා තිබෙනවා.

රටේ පළාත් පාලන ආයතන 341 ක මැතිවරණය පැවැත්වීමට තිබුණේ පසුගිය අවුරුද්දේ මාර්තු 16 ට ඉස්සල්ලා. නමුත් පළාත් පාලන මැතිවරණය පැවැත්වුවේ නෑ. ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායම් කිහිපයක් උසාවි ගොස් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා ගත්තා. ඒ නියෝගය නිකුත් කළේ රටේ මුදල් ඇමැතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට.

පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අයවැය ලේඛනය හරහා මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ අනුව මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවටත් වහාම පළාත් පාලන මැතිවරණවය පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළා. නමුත් පළාත් පාලන මැතිවරණය පවත්වන්න ජනාධිපතිවරයා කටයුතු කළේ නෑ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර, නීතිය පාගා දමා, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මර්දනය කරමින් රට පාලනය කිරීම තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සිරිත වී තිබෙන්නේ.

ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිලෙස පත් කිරිම නිති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. පොලිස්පතිවරයාගේ පත්වීම වලංගු නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා නමුත් ජනාධිපතිවරයා ඒ නියෝගයත් ක්‍රියාත්මක කළේ නෑ.

ඒ වගේම වීසා මගඩිය හරහා රටට ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක්. ඒ අනුව මේ වීසා මගඩිය නවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. පෙර පරිදි වීසා නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කළේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට
ආණ්ඩුව අද වනවිට හේතු සොයමින් යනවා.

මේ තත්ත්වය අවසන් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා යටතේ නීතිගරුක, ප්‍රතිපත්තිගරුක, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පිළිපදින, නීතිය යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවට සැප්තැම්බර් 21 වැනිදා අවස්ථාව ලැබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ සාමාන්‍ය විපක්ෂ නායකවරයෙකු කටයුතු කළ ආකාරයට නෙවෙයි. ඔහු රජයේ කිසිදු ආධාරයක් නැතිව රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යට විශාල සේවාවක් සිදුකළා. අන්ධකාරයෙන් වැසි ගිය යුගය අවසන් කරලා අලුත් ගමනක් සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ කරමු”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *