Latestදේශීය

මා සමග සිටින්නේ හොදම කණ්ඩායමයි – රනිල් වික්‍රමසිංහ

එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එම පක්ෂවල සිටින ඇතැමුන් තමන් විසින් දේශපාලනයට ගෙන ආ පුද්ගලයන් බැවින් තමන් ඒ බව හොදාකාරව දන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා, සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත්, මෙවර ඡන්දය ලබාදිය යුත්තේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහා බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නීතිඥ වෘත්තීයවේදීන් සමඟ පසුගියදා (24) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති හමුවට එක් වෙමිනි

“ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ” යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන්, ජනාධිපති නීතීඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතීඥයින් ඇතුළු නීතීඥ ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් එක්ව සිටියහ.

හොරු ඇල්ලීම පිළිබඳව එල්ල කරන චෝදනා පිළිබඳවද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ 2015 වසරේ යහපාලන ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ වගකීම භාරගත් ජනතා විමුක්ති පෙරමුණ පොලිස් නිලධාරියෙකු හෝ නීතිඥයෙකු ද නොවු ආනන්ද විජේපාල මහතාව ඒ සඳහා පත් කර ගනිමින් ලිපිගෙනු 400ක් ගෙන ක්‍රියා කළ බවයි. අග්‍රාමාත්‍යවරයා ලෙස තමා සිදු කළේ එම කටයුතු සඳහා ප්‍රතිපාදන සැපයීම පමණක් බව පැවසු ජනාධිපතිවරයා මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතු බවත් බළලාට දත් නැත්නම් තමාට බැන වැඳ ඵලක් නොවන බවත් කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මෙසේද පැවසීය

අද ඔබ සියලු දෙනා මෙතනට පැමිණීම පිළිබඳ පළමුවෙන්ම මම මගේ ස්තූතිය පිරිනමනවා.අපි මෙතනට පැමිණ සිටින්නේ පොදු වැඩකටයුත්තකටයි. සියලුදෙනා එක්ව මේ රට ආරක්ෂා කර ගැනීමටයි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා මට කිව්වේ බලයේ හිඩසක් තියන්න එපා කියලයි. ඒකයි මම එදා ගිහින් අගමැතිකම භාරගත්තේ. එදා රටේ පැවති තත්ත්ව දිගටම තිබුණානම් ඇතිවිය හැකිව තිබු තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැහැ. බංග්ලාදේශයේ ඒ හිඩැස තිබුණා. ෂෙයික් හසිනා මැතිනිය පිටවී යද්දී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියා ඔවුන්ට අදහසක් තිබුණේ නැහැ. ඒ හිඩැස නිසා ඔවුන්ට විශාල පාඩුවක් සිදුවේවි.

එදා මේ රටේ අගමැතිකම භාර ගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මම පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබු මන්ත්‍රිවරයෙක්. මට කිව්වා අගමැතිකම භාරගන්න කියලා.

කෙසේ හෝ මම මඩ මඩකලපුවේදීද සඳහන් කළ ආකාරයට රාජකීය විද්‍යාලයේදී අපට ඉගැන්වූ ඇතැන්ස් අධිරාජ්‍යයන්ගේ දිවුරුම් ප්‍රකාශය අනුව මම එදා කටයුතු කළා. මම එම වගකීම භාරගන්නේ නැතුව පැන ගියානම් විශාල අවනම්බුවක් සිදුවෙනවා. එය බියගුළු ක්‍රියාවක් වෙනවා.

විපක්ෂ නායක කියන්නේ විකල්ප අගමැතිවරයායි. එදා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇවිල්ලා කිව්වේ රාජපක්ෂ ආණ්ඩුව කැඩී ගියහොත්, විපක්ෂ නායකතුමා ආණ්ඩුව භාර ගන්නවා කියලයි. මෙය සිදුවුණේ පාර්ලිමේන්තුවේ ආලින්දයේ. අපි එතැන සිටියා. සම්ප්‍රදාය එය නිසා අප ඊට එකඟ වුණා. විපක්ෂ නායකවරයා මැදිහත් වී රජයක් පිහිටවිය යුතු බව මා එදා ප්‍රකාශ කළා. අර්බුදයක් තිබෙන අවස්ථාවේ විපක්ෂයේ සිට හෝ අපි උදව් කරන්නම් කියා අපි ඔවුන්ට පැවසුවා. මට සජිත් ප්‍රේමදාස මහතා සමඟ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

නමුත් එහෙම කියලා අවසානයේ අගමැතිකම භාරදෙන විට බෑ කියලා පැනලා දිව්වා. එතකොට මම මොකක්ද කරන්නේ, මමත් පැනලා දිව්වා නම් එය බියගුළු ක්‍රියාවක් වෙනවා. මගේ තිබෙන අත්දැකීම් අනුව මේ ගැටලුව විසඳිය හැකි බවට විශ්වාසයක් මා තුළ තිබූ නිසා මම එම වගකීම භාරගත්තා.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටින් පිටව ගිය අවස්ථාවේ මම එම වගකීම භාරගෙන එම වැඩකටයතු කරගෙන ගියා. මගේ නිවස ගිනිබත් කළත් සඳුදා අපේ කැබිනට් මණ්ඩලයේ රැස්වෙලා රූපවාහිනිය මඟින් එය ප්‍රචාරය කළා

එතැන් සිට ආණ්ඩුවක් ලෙස අප එම බලය ආරක්ෂා කරගෙන ඉදිරියට ආවා.. ඒක අපේ යුතුකමක්. මම වැඩ කරපු ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි ජනාධිපතිවරුන් රට ගැන මුලින් සිතා වැඩ කරන ලෙස අපට උගන්වා තිබුණා. මෙවැනි අවස්ඨාවක ජනතාව එකතු කළ යුතුයි. එවැනි අවස්ථාවක පක්ෂ භේද සලකන්නේ පළපුරුද්දක් නොමැති අයයි. ඔවුන් ආණ්ඩුවක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දන්නේ නැහැ.

මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන ඒමට මට හොඳ කණ්ඩායමක් අවශ්‍ය වුණා. එහිදී යහපාලන රජය සමයේ මා සමඟ කටයුතු කර තිබූ රංජිත් සියඹලාපිටිය ඇමතිතුමා මගේ රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස පත්කරගත්තා. ෂෙහාන් සේමසිංහ ඇමතිතුමා මන්ත්‍රීවරයෙකු ලෙස මම දැන සිටියා. මම එතුමාවත් තෝරාගත්තා. ඇමතිවරුන් ලෙස ඒ දෙපළ විශාල සේවයක් සිදුකළා. අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට පවා ඒ දෙපළ ගොස් වැඩකටයුතු කළා. ඒවගේම අලි සබ්‍රි ඇමතිතුමාටත් විදේශ කටයුතු අමාත්‍යාංශ භාරදුන්නා. එතුමා ඒ වැඩකටයුතු සිදු කළා. අපිට විශාලම ගැටලුව තිබුණේ බලශක්ති අංශයේයි. ඒ සඳහා කංචන  විජේසේකර ඇමතිතුමා පත් කළා. ඒ කණ්ඩායම තමයි මේ වැඩකටයුතු සිදු කළේ.

ඒ වගේම බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මේ සියලු දේ මාධ්‍යට දැනුවත් කිරීම සඳහා පත් කළා. ඒ වගේම මම නිලධාරීන් ද සොයාගත්තා. යහපාලන රජය සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය ආර්.එච්. එස්. සමරතුංග මහතා මගේ උපදේශකවරයෙකු ලෙස පත් කළා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාටත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාටත් ඒ වැඩකටයුතු දිගටම කරගෙන යාමට අවස්ථාව සලසා දුන්නා. සිව්වෙනිව මගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස සාගල රත්නායක මහතා පත් කළා.

ඒ වගේම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජ් යන මහත්වරුන් සහ ශාමිනි කුරේ මහත්මියත් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. මේ කණ්ඩායම තමයි මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවේ. එම කණ්ඩායම තමයි සාර්ථකම කණ්ඩායම. ඒ වගේම අනිත් ඇමතිවරු තමන්ගේ වැඩ කටයුතු ටික කළා. අගමැතිතුමා සහ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ටික බලා බලා ගත්තා. නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු බැලුවා. එතුමා අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ලබාදුන්නා. හරීන් ප්‍රනාන්දු මැතිතුමා සංචාරක ව්‍යාපාරය පිළිබඳ කටයුතු බලාගත්තා. කුඩා ප්‍රමාණයේ අමාත්‍ය මණ්ඩලයක් කෙසේ හෝ මේ වැඩකටයුතු සියල්ලම සිදු කළා.

එක පක්ෂයකින් නෙවෙයි  සියලුදෙනා එක්ව රට ගැන සිතා වැඩ කළා. පාර්ලිමේන්තු කණ්ඩයම ඊට උදව් කළා. දැන් අප යම්කිසි ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. මූලික වශයෙන් රටවල් 18ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන සමඟ ගිවිසුමකට එළැඹී තිබෙනවා.

අප මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එකඟතාවයට ආවා. දෙවනුව අපට චීනය සහ අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කිරීමට තිබුණා. චීනය බලාගෙන හිටියා අපි අනෙක් රටවලට විශේෂයක් කරනවද කියලා. අනෙක් රටවලුත් අපි චීනයට යම් විශේෂයක් කරනවද කියලා බලාගෙන හිටියා. මේ සියල්ල අවසන් කර අප දැන් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සියලුදෙනා

වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති බලය අවසන් වී තිබෙනවා. අපි රටවල් 18ක් සහ සංවිධාන 3 සමඟ ගිවිසුම අත්සන් කර තිබෙනවා. එනිසා මේ අනුව අපට ඉදිරි වැඩකටයුතු සිදු කිරීමට තිබෙනවා. ලබන වසරට රුපියල් ට්‍රිලියන 5ක ආදායමක් උපයාගෙන වැඩ කටයුතු කිරීමට අපට සිදු වෙනවා.

තමන්ගේ මැතිවරණ ප්‍රකාශවලින් අරක නොමිලේ දෙනවා, මේක නොමිලේ දෙනවා, බදු අඩු කරනවා කියා පැවසු විට මේ ගිවිසුම කැඩෙනවා. එසේනම් ඒ සඳහා වෙනත් ආකාරයකින් මුදල් සෙවිය යුතුයි. වැට් බද්ද අඩු කරනවා නම් ආදායම් බද්ද වැඩි කිරීමට සිදුවෙනවා. රුපියල් ට්‍රිලියන 5 කියන අගය වෙනස් කරන්න බැහැ. නමුත් මුදල් සොයාගන්නා ආකාරය වෙනස් කළ හැකියි. එහෙත් මේ ඉලක්කය අනුව කටයුතු කළ යුතුයි. ඉලක්කය සපුරාලන්නේ නැත්නම් සිදුවන්නේ කුමක්ද?

ඔවුන් නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව පවසනවා.නමුත් ජාත්‍යන්තර අරමුදලට දැන් මේ පිළිබඳ බලයක් නොමැති බැවින් ඔවුන් සමඟ කතා කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ. එනිසා මේ රටවල් 18 සහ ආයතන 3 සමඟ වෙන වෙනම ගොස් සාකච්ඡා කිරීමට සිදුවෙනවා. එය ලේසි පහසු කටයුත්තක් නොවෙයි. බහුතරයක් රටවලට අපේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට වඩා ඔවුන්ට ඔවුන්ගේම ප්‍රශ්න විසඳාගැනීමට තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මාස 6කට වරක් සමාලෝචනයකට යටත්ව අපට ආධාර ලබාදෙනවා. ජපානය සහ අනෙකුත් ආයතන හා රටවල්වලින් අත්හිටවනු ලැබු ආධාර නැවත ලැබීම ආරම්භ වීමට තිබෙනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අවසන් කර තිබෙනවා. එහි මුදල් එළැඹෙන පෙබරවාරි මාසයේ ලැබීමට නියමිතව තිබෙනවා. ඊට පෙර මෙම සමාලෝචනය සිදු කර මුදල් ලබාගැනීමට අනුමැතිය ලබාගත යුතුයි. අපි මේ ගිවිසුම සංශෝධනය කරන බව පැවසුවහොත්, නැවත එකඟතාවකට පැමිණෙන තුරු මේ ලැබීමට නියමිත ආධාර සියල්ලක්ම නැවතෙනවා. එවිට පෙබරවාරි මාසයේ සිට නැවතත් ඔබට පොලිම් වල කාලය ගත කිරීමට සිදු වෙනවා.

සාමාන්‍ය සමාලෝචනයක් සඳහා මාස 2ක් පමණ ගතවෙනවා. සංශෝධනයක් සඳහා සාකච්ඡා කළ හොත් අවම මාස 4ක් 5ක් ගතවිය හැකියි. රටවල් සමඟත් නැවත සාකච්ඡා කිරීමට සිදුවන නිසා සමස්ත ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් මාස 8ක් පමණ ගත වෙනවා. ඒ ආකාරයෙන් රට  ඉදිරියට ගෙන යා හැකි ද? සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුද යන්න පිළිබඳ නොවෙයි. අප ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ තීරණය ගත යුතුව තිබෙනවා.

ආපසු බොරු කළොත් රට වැටෙනවා.  මේ මොහොතේ ආර්ථික ස්ථාවරභාවය අවශ්‍යම වෙනවා. මම අපෙක්ෂා කරන්නෙ මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාමටයි. විදේශ ආයෝජන ගෙන ආ යුතුයි. ඒ සඳහා අප සියලුදෙනාම එකට එක්ව ගෑස් සිලින්ඩරය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යුතුයි. මේ ජන්දය දෙන්නේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහායි.

අප සමඟ සිටින ආර්ථික කණ්ඩායම තරම් සුදුසු කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නැහැ. ඔවුන්ගේ කණ්ඩායම්වල සිටින්නේ කවුද කියා මම දන්නේ නැහැ. නමුත් අපගේ කණ්ඩායම ලෝකය විසින් පිළිගෙන තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ දෙනෙකු මගෙන් ඒ පිළිබඳ විමසනවා. අපටත් ඔබේ උපදෙස් ලබා දෙන ලෙස අපගෙන් ඉල්ලා සිටිනවා. පකිස්ථානයේ හිටපු අගමැතිතුමා ද මේ පිළිබඳ විමසා සිටියා. මේ කණ්ඩායම අභිබවා යා හැකි වෙනත් කිසිවෙකු අනෙක් පක්ෂවල නැහැ. සමහරු මම දේශපාලනයට ගෙන ආ පුද්ගලයින් නිසා ඒ පිළිබඳ මම හොඳින්ම දන්නවා. එනිසා තමන්ගේ අනාගතය මේ අයට භාර දීමට කැමතිද කියා සිතා බලා ජනතාව තීරණයක් ගත යුතුව තිබෙනවා.

හොරු ඇල්ලීම පිළිබඳ පවසන දේ පිළිබඳවත් මම මෙහිදී යමක් සදහන් කළ යුතුයි. 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කිරීම වෙනුවෙන් පක්ෂ ගණනාවක් ගිවිසුම් ගත වුණා. ජයග්‍රහණයෙන් අනතුරුව ආණ්ඩුවට එක්වන ලෙස සියලුදෙනාට ආරාධනා කළත් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින බව ප්‍රකාශ කළා. ද්‍රවිඩ පක්ෂ ඔවුන්ට ඇති දේශපාලන ගැටළු වලට විසඳුම් අවශ්‍ය බව පැවසුවා. ජනතා විමුක්ති පෙරමුණ දූෂණය පිළිබඳ සොයා බැලිය යුතු බවත් ඒ පිළිබඳ වගකීම ඔවුන්ට භාර දෙන ලෙසත් පැවැසුවා.

එක් පැත්තකින් ජේ.සී. වැලිඅමුණ මහතා මෙය අප විසින් සිදු කළ යුතු බව පැවසුවා. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් මෙය සිදු කිරීමට අවශ්‍ය බව පැවසුවා. වැලිඅමුණ මහතා ජනාධිපති කාර්යාලයේ ඒ පිළිබඳ කටයුතු කළා. පොල්සිය පාර්ශ්වයෙන් රවී සෙනෙවිරත්න සහ රවී වෛද්‍යාලංකාර යන මහත්වරුන් පත් වුණා. අල්ලස් කොමිසම සහ ඊට අමතරව දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් ඇති කළා.  ඒ සඳහා මුදල් ප්‍රතිපාදන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලබාදුන්නා. ජනතා විමුක්ති පෙරමුණෙන් මේ සඳහා ආනන්ද විජේපාල මහතා පත් කළා. නමුත් එතුමා පොලිස් නිලධාරියෙකු හෝ නීතිඥයෙකු වුණේ නැහැ. එතුමා ලිපිගොනු 400ක් ගෙන ක්‍රියා කළා. සමහරක් සාර්ථක වුණා. සමහරක් අසාර්ථක වුණා. ඒ නිසා ඒ පිළිබඳ මට බැනලා වැඩක් නැහැ.

මට තිබුණේ මුදල් ප්‍රතිපාදන ලබාදීම පමණයි. මීයෝ අල්ලන්න නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතුයි. බළලාට දත් නැත්නම් මට බැනලා වැඩක් නැහැ.

මම දූෂණයට විරුද්ධයි. නමුත් නීතියේ අඩුපාඩු රැසක් තිබුණා. නමුත් ඒ පිළිබඳ කටයුතු කළේ නැහැ. නමුත් මා ජනාධිපති වු පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් සාකච්ඡා කර දූෂණ විරෝධී නීතියත්, අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනතත් අපි සකස් කර තිබෙනවා. අප ඒවා ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත පුහුණු කිරීම සඳහාත් අප ලෝක බැංකුවෙන් ආධාර ලබාගෙන තිබෙනවා. අප මෙය ක්‍රියාත්මක කළ පසු දකුණු ආසියාවේ ප්‍රභලතම දූෂණ විරෝධී නීතිය සහිත රට බවට ශ්‍රී ලංකාව පත්වෙනවා. එනිසා අප රටේ අනාගතය පිළිබඳ සිතිය යුතුයි. ඒ වෙනුවෙන් අප ආරථික පරිවර්තන පනතත් ඉදිරිපත් කර තිබෙනවා. මැතිවරණයෙන් පසු අපට තිබෙන්නේ අලුතින් සිතා ඉදිරියට යාමටයි.

විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා

අද මේ පැවැත්වෙන නීතිඥ හමුව සඳහා ලංකාවේ සතර දෙසින් නීතිඥවරුන් 1500කට වැඩි ප්‍රමාණයක් පැමිණ සිටිනවා. මේ පිරිස පැමිණ සිටින්නේ එක් පණිවිඩයක් ලබාදීමටයි. මේ නීතිඥ ප්‍රජාව එක් පක්ෂයක් හෝ පාටක් නියෝජනය කරන පිරිසක් නොවේ.  ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ආර්ථික ස්ථාවරත්වය ඉතා වැදගත් බව මේ නීතිඥ ප්‍රජාව අද තේරුම් ගෙන තිබෙනවා. නීතිඥවරුන් වශයෙන් අප සියලු දෙනාම අපේ රටට ආදරෙයි. රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට අප සියලු දෙනා දිවුරුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් අප කිසිඳු පැකිලීමකින් තොරව පෙනී සිටිනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී අප ජාතික ආරක්ෂාව යන්න වැරදි ලෙස අර්ථකථනය කරනවා. ජාතික ආරක්ෂාව යනු භෞමික අඛණ්ඩතාවය පමණක් නොවෙයි. 2022 වසරේ අපේ රටේ ඇති වූ වාතාවරණය සහ මේ වන විට බංගලාදේශයේ සිදුවන දේ අනුව භෞමික අඛණ්ඩතාව යනු ජාතික ආරක්ෂාවේ එක් වැදගත් කොටසක් පමණක් බව තහවුරු වී තිබෙනවා.

ජාතික ආරක්ෂාව තුළ ඊට වඩා වැදගත් කරුණු රාශියක් ගැබ් වී තිබෙනවා. ඒ ආර්ථිකය, සෞඛ්‍ය ආහාර සුරක්ෂිතතාවය යනාදී ලෙසයි. අපේ ආර්ථිකය කඩා වැටුනොත් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. එනිසා පක්ෂ පාට පැත්තකට දාලා රට ඉදිරියේ ඇති අභියෝග හොඳින් කළමනාකරණය කරගත හැකි නායකත්වය සතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය ලබාදිය යුතු බවට අපි තීරණය කළා.

අධ්‍යාපන අමාත්‍ය නීතීඥ ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

වසර දෙකකුත් මාස තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයත්, පාර්ලිමේන්තු කණ්ඩායමත් වෙහෙසුනේ බංකොල්ලොත්භාවය ප්‍රකාශ කළ රටක් එයින් ගොඩ ගෙන, සාමාන්‍ය ජන ජීවිතය රට තුළ ස්ථාපනය කිරීම සඳහායි. ඒ වෙනුවෙන් දවසට පැය 16ක් වැඩ කළ දින අපට තිබුණා. සෑම ඇමැතිවරයෙක්ම මහන්සි වුණා. ජනාධිපතිතුමා ඔහු සතු අවුරුදු හතළිහකට වැඩි දේශපාලන පරිනතභාවය ප්‍රදර්ශනය කරමින් ඒ සඳහා නායකත්වය දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට සාමකාමී, නිදහස් හා ස්වාධීන ජනාධිපතිවරණයක් පැවැත්වීමේ පරිසරය නිර්මාණය වී තිබෙනවා. වෘත්තිකයන් හැටියට අපිට මෙහෙම එකතුවීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඕනෑම දේශපාලන මතයක් දරන කෙනෙකුට සිය දේශපාලන මතය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. රැස්වීම්, සම්මන්ත්‍රණ, සාකච්ඡා පැවැත්වීම සඳහා පහුගිය කාලය පුරාම අවස්ථාව ලැබුණා.

2022 වසරේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගෙන ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුයේ සංවර්ධන පරිපාලන මධ්‍යස්ථානයේදීයි. කැබිනට් මණ්ඩලය රැස්වෙන්න ස්ථානයක් තියා, ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසත් ඒ වන විට ගිනි තබා තිබුණා. අප ගමන ආරම්භ කළේ එතැන් සිටයි. එනිසා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි සිදු කළේ මේ රට ගොඩනැගීමයි. වැටුණු රට නඟාසිටුවීමයි. තිරසාර වැඩපිළිවෙලකට ප්‍රවේශය ලබාදීමයි. අද ජනාධිපතිවරු ඇමතිවරු වීමට දඟලන අනෙකුත් පක්ෂවල  බොහෝ දෙනෙකු එදා අපි කළ සියලු දේ විවේචනය කරමින් සිටියා. වගකීම් භාර නොගෙන පැන ගියා. ඔවුන් දේශපාලනය කළා. නමුත් අපි දේශපාලන කටයුතු ආරම්භ කළේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසුවයි. තවම ගතවී ඇත්තේ සති දෙකයි. එදා දේශපාලනය කරමින් සිටි අයගේ ව්‍යාජ දේශපාලන රැලි අභිබවමින් ජනාධිපතිතුමා මේ වන විට ඉදිරියට පැමිණ තිබෙනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, නිතීඥ මධුර විතානගේ, එස්. එම්. එම්. මුෂාරෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක,  ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා, ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන්, ජනාධිපති නීතීඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතීඥයින් ප්‍රමුඛ නීතීඥ ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් සහ සම්භාවනීය ආරධිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *