Latestදේශීය

මාලිමාවට අභියෝග කළ හැකි පක්ෂයක් ජනාධිපති තරගය තුළ නැහැ – ටිල්වින් සිල්වා

මාලිමාවට අභියෝග කළ හැකි පක්ෂයක් ජනාධිපති තරගය තුළ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ ඊයේ (26) මාලඹේ නගරයේ පැවති `රට අනුරට’ ජාතික ජන බලවේගයේ රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,

“අපි මෙතනට එකතුවෙලා ඉන්නේ ඉතාම සතුටින් හා විශ්වාසයෙන්. අපි එකතු වෙලා ඉන්නේ මේ රටේ පරිවර්තන යුගයකට මුල පුරන්නයි. අපි දීර්ඝ කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ සමාජය වෙනස් කරන දිනයක් එනකල්. දින ගැන ගැන හිටියේ. එහෙම අපේක්ෂා සහගතව දින ගැන ගැන හිටපු ජනතාවට වළක්වන්න හදපු සියලු උත්සාහයන් පරාජය කරලා අද ඒ දිනය උදාවෙලා තිබෙනවා. ඒ දිනය තමයි සැප්තැම්බර් 21. අපේ රට වෙනස් කරන දිනය අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පටන් ගන්නා දිනය. ජනතාවගේ සැබෑ පාලනයක් ගොඩනඟන දිනය. අන්න එදාට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවලා ජනතාවගේ ආණ්ඩුවක් හදන්න තමයි අපි කවුරුත් ඇවිල්ලා ඉන්නේ. අපි රට පුරා යනකොට ඒ පිළිබඳව ජනතාවගේ තිබෙන උද්‍යෝගය දකින විට අපිට ඒ ගැන කිසිම සකයක් නැහැ. සැප්තැම්බර් 22 දිනට මාලිමාවේ පාලනයක් බිහිවෙන බව ඉර හඳ වගේ ව්ශ්වාසයි.

පසුගිය 15වැනිදා නාම යෝජනා බාරදීලා 17 වැනිදා අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා, තංගල්ලෙන්. ඒ වගේම දකුණේ නගර තුනක. එක වරම තංගල්ල, මාතර, ගාල්ල. ඒ නගර තුනයි. ලංකාවේ මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයක් එවැනි දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කරල නැහැ. ධාරාණිපාත වැස්ස මැද අති විශාල ජනතාවගේ සහභාගිත්වය තිබුණා, ඔබ දකින්න ඇති. අද (26) උදේ අපි මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. ඒකෙ අපි රට හදන්නේ කොහොමද කියලා කතා කරලා තිබෙනවා. ඔබට ඒක දැක බලා ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ අපේ ජයග්‍රහණයේ අභියසයි. මේ මැතිවරණය නියත ලෙස අපි ජයග්‍රහණය කරනවා. අපේ රටේ කාට හරි දේශපාලනය ඉගෙන ගන්න අවශ්‍ය නම් පසුගිය මාස දෙක තුළ සිදුවූ සිදුවීම් ටිකම ඇති. දැන් අපේ රටේ පක්ෂ වෙනස්කම් සහිතව, මාලිමාව හැර වෙනත් පක්ෂයක් ඔබට සොයා ගන්න පුළුවන්ද? කවුරු කොහේ ඉන්නවාද කියලා. කාටවත් හිතාගන්න බැහැ. අද එක තැනක. හෙට තවත් තැනක. නැවත කලින් හිටපු තැනට.


දැන් මේ ඡන්දය එන කොට ශ්‍රීලනිපය ඡන්ද ඉල්ලන්නේ නැහැ. ආගිය අතක් නැහැ. මෛත්‍රීපාල මහත්තයා දෙලොවක් අතර අතරමං වෙලා. පොහොට්ටුවට වෙන්න ඕනෙ ඔක්කොම දේවල් වෙලා ඉවරයි. 69 ලක්ෂයක ඡන්ද අරගෙන තුනෙන් දෙකක බලයක් අරගෙන විරාජමාන වූ පොදු ජන පෙරමුණ, රටට කරපු අපරාධ නිසාම දැන් වැලලී ගිහිල්ලා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු අනූ ගණනක් රනිල් ගාවට ගියා. දහයක් පහළොවක් සජිත් ගාවට ගියා. දැන් පොහොට්ටුවේ පෙති හැලිලා හැලිලා නැට්ට විතරයි තිබෙන්නේ. නැට්ටෙ තමයි නාමල් එල්ලිලා ඉන්නේ. ප්‍රධාන කණ්ඩායමෙන් ඔහු සමග දැන් ඉන්නේ ජොන්ස්ටන් පමණයි. කවුද මුහුණු පොතේ දාලා තිබුණා, නාමල් රාජපක්ෂට දැන් තරගය තියෙන්නේ සීලරතන හිමියන් එක්ක කියලා.

අද එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. පළු දෙකකින් ඡන්දය ඉල්ලනවා. එජාප නායක රනිල් අද එක පැත්කින් ඡන්දය ඉල්ලනනවා. හිටපු නියෝජ්‍ය නායක සජිත් අනෙක් පැත්තෙන් ඡන්දය ඉල්ලනවා. ඔය හොරු ටික දෙකට බෙදිලා. ප්‍රතිපත්තියක් නැහැ. දිනන්න නම් කොහොමත් බැහැ. රනිල් වික්‍රමසිංහ ඇප බේරාගත්තොත් ඇති. මේ මැතිවරණයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු රනිල් ගාවට ගියාට ඒකෙ පාක්ෂිකයෝ අද එකතු වෙලා ඉන්නේ මාලිමාවත් එක්ක. ඒ නිසා හොරු රනිල්ට. ජනතාව මාලිමාවට. හොරු සජිත්ට. ජනතාව මාලිමාවට. සජිත්ගේ පක්ෂය දැන් පුදුමාකාර පක්ෂයක්. එතන පොහොට්ටුවෙ සභාපති ජී.එල්. පීරිස් ඉන්නවා. ඩලස් ඉන්නවා. ඩලස් තමයි පසුගිය කාලෙ කිවුවෙ සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි සොරකම් කළා කියලා. එහෙම කියපු ඩලස් දැන් සජිත් ගාව. විල්පත්තු කැලේ කපපු රිෂාඩ් බදියුද්දීන් සජිත් ළඟ. ඒ කැලේ කපපු එකට විරුද්ධව කෑගහපු චම්පික් දැන් එතන. ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ බුකි කාරයෙක් වුණු තිලංග සුමතිපාල කියලා චෝදනා කරපු අර්ජුන රණතුංගයි, තිලංගයි දෙන්නම එකට දැන් සජිත් ළඟ. මේක නම් පුදුම පක්ෂයක්. ඒ පක්ෂයෙන් ඉවත්වූ තලතා අතුකෝරාළ රනිල්ට බනිනවා. රනිල් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා පක්ෂය කඩාගත්තා කියලා. සජිත්ට මහා අපරිණත දුර්වල නායකයෙක් කියලා කිවුවා. එහෙම කියලා මේ දෙන්නා එකතු වුණේ නැතිනම් මාලිමාවේ ආණ්ඩුවක් මේ මැතිවරණයේදි එනවා කියලා කියනවා. ඒගොල්ලෝ ඉවරයි කියනවා. ඒ නිසා මාලිමාවේ ආණ්ඩුවක් එනවා කියලා පාර්ලිමේන්තුව ඇතුලේ කිවුවට තලතා ඔයාට ස්තූතියි.



තවමත් සජිත් ප්‍රෙමදාස මහත්තයට ඡන්දය දෙන්න කවුරු හරි හිතන් ඉන්නවා නම් අපේ එයාගෙන් අහනවා ඔය වටකරන් ඉන්න කට්ටිය එක්ක මේ රට හදන්න පුළුවන්ද කියලා. මහජන ධනය හොරා කාපු හැම අගුපිලකම රස්තියාදු ගහපු ඔය කට්ටියත් එක්ක හොරු අල්ලන්න පුළුවන්ද? අපේ රටේ ජනතාවගේ විශාලම විරෝධය තියෙන්නේ මේ මහජන දේපොළ හොරා කාපු හොරුන්ට විරුද්ධවනෙ. රනිල්ටයි සජිත්ටයි හොරු අල්ලන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි තමන්ගේ වේදිකාවේ මැද ඉඳන් අත්දෙක දෙපැත්තට දික්කරන එක. ටක් ගාලා හොරු අල්ල ගන්න පුළුවන්. මේ තත්වය ඇතුලේ අද මාලිමාවට අභියෝග කරන්න පුළුවන් පක්ෂයක් මේ ජනාධිපති තරගය ඇතුලේ නැහැ. අපි මහා රැස්වීම් රාශියක් රට පුරා කරෙගන යන ගමන් කුඩා කුඩා ජන හමු විශාල ප්‍රමාණයක් ගම්මට්ටමෙන්ද කරගෙන යනවා. දැන් සමගි ජන බලවේගය ගමේ රැස්වීම් තියන්න එනවාද නැහැ. රනිල් නම් එන්නෙම නැහැ. එජාපයක් දැන් ඇත්තේත් නැහැ. රනිල් ඡන්දය ඉල්ලන්නෙ ස්වාධීනව. සමගි ජන බලවේගය ගමේ රැස්වීම් තියන්න එන්නේ නැහැ. මොකද සෙනග හොයා ගන්න බැහැ. ආසන රැස්වීමක් කරගන්නත් බැහැ. සෙනග නැහැ. ඉතිං මොනවද කරන්නේ. රට පුරාම ගිහිල්ලා සෙනග එකතු කරනවා. එහෙම කරලා සෙනග ටිකක් ඇදලා ඒ ගොල්ලන්ගේ නාලිකාවක් දෙකක් තියෙනවා ඒවායෙන් රටට පෙන්නනවා.



අපි දැන් එකවිට එකම දිස්ත්‍රික්කය ඇතුලේ නගර දෙක තුනක රැස්වීම් දෙක තුනක් තියනවා. අපි පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 4ක පිට පිටම අනුර සහෝදරයා සහභාගි වන රැස්වීම් 4ක් හතරක් කළා. සජිත්ලාට මේවා හිතන්නවත් බැහැ. ඒ නිසා ජනමාධ්‍යවලින් පුම්බලා පෙන්වන මැජික් වැඩ ඇරෙන්න මහ පොළොවේ බලය ඒ ගොල්ලන්ට නැහැ. දැන් ඒ ගොල්ලෝ මහ පොළොවෙන් ප්‍රතික්ෂේප වෙලා. සැප්තැම්බර් 21 වැනිදාට ඒ ගොල්ලෝ ඔක්කෝම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා. අනිවාර්යයෙන්ම අපේ අනුර සහෝදරයා ජනාධිපති වෙනවා. ඒක කිසිවෙකුටත් වළක්වන්න බැහැ.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *