Latestදේශීය

නාවික හමුදා මාන්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ 2024 අගෝස්තු මස 16 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නිල වශයෙන් (26) දින නාවික හමුදා මූලස්ථානයේ දී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර, 1991 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1993 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, දියයට මුහුදු සංග්‍රාමික දීර්ඝ පාඨමාලාව ඉන්දීය නාවික නෞකා වෙන්දුර්තිහී දියයට මුහුදු සංග්‍රාමික පුහුණු පාසල වෙතින් 2000 වර්ෂයේ දී හදාරා ඇත. සිය වෘත්තීය ජීවිතය ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ජ්‍යේෂ්ඨ නිළධාරියා, 2022 වර්ෂයේ මැයි මස 04 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.   

බංගලාදේශ අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2009 වර්ෂයේදී අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඔහු, 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වෙතින් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (මානව සම්පත් කලමණාකරනය) උපාධිය ද, 2019 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇති අතර, 2021 වර්ෂයේ දී ජාතික ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යනය පාඨමාලාව, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයෙන් සාර්ථකව හදාරා ඇත.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලාගෙන පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ඔහුගේ අගනා සේවය හා නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇති රියර් අද්මිරාල් කාංචන‍ බානගොඩ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *