Latestදේශීය

පාර්ලිමේන්තුව අද සිට රැස්වේ

පාර්ලිමේන්තුව මාර්තු අද සිට 10 වැනිදා දක්වා රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 4.00 දක්වා මෝටර් වාහන පනත යටතේ අංක 2287/28, 2301/17 සහ 2306/02 දරන ගැසට් පත්‍රවල පළකර ඇති නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

අනතුරුව ප.ව 4.00 සිට ප.ව 5.30 දක්වා, ආණ්ඩුව විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

මාර්තු 8 වැනිදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතිවරයා විසින් පනවන ලද අංක 2321/07 දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබේ.

ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සුරාබදු ආඥා පනත යටතේ අංක 2290/24 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන පාලන පනත යටතේ 2315/46, 2309/40, 2311/08, 2311/18, 2312/77 සහ 2312/78 යන අංක දරන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසි සහ කොළඹ වරාය නගරය කොමිෂන් සභාව පනත යටතේ අංක 2306/54 දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට මෙහිදී තීරණය වී තිබේ.

අනතුරුව රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 24 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත. තවද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වන ඉන්දිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීමටද මෙහිදී එකගත්වය පළවී තිබේ.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

‍මාර්තු 9 සහ 10 දෙදින ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය. එම දෙදිනපෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?