Latestදේශීය

සහතික වශයෙන්ම 21 සමාජ පරිවර්ථනයක් සිදුකරනවා – අනුර දිසානායක

රටට ජයග්‍රහණ ලබාදීමෙන් ස්වයං තෘප්තියට පත්වන රාජ්‍ය සේවකයෙක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පසුගිය දා (30) පැවති සංවර්ධන නිලධාරී සහ ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

මේ සැප්තැම්බර් 21 වැනිදා සහතික වශයෙන්ම අපි මේ රටේ සමාජ පරිවර්තනයක් සිදු කරනවා. ඔබ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඵලයක්. දීර්ඝ කාලයක් පාසල් ජීවිතයක් සහ විශ්වවිද්‍යාල ජීවිතයක් ගෙවා දැමූ ඔබ අපේ රටේ සමාජ සංවර්ධනයට දායකත්වයෙන් හැකියාවත්, බුද්ධියක් තිබෙන පිරිසක්. නමුත් අපේ සමාජ දේහයත්, ආර්ථික ප්‍රතිපත්තියත් එහි ප්‍රතිඵල නෙළාගන්න අසමත් වී තිබෙනවා. ඔබේ දැනුම, හැකියාව, ඵලදායී ලෙස යොදා ගන්නට අපේ රාජ්‍ය සේවය අසමත් වී තිබෙනවා. මේ සමාජ ආර්ථික දේහයෙන් පිටමං වෙලා ඉන්නේ, ඔබ විතරක් නොවෙයි තරුණ තරුණියන් මේ ආර්ථික දේහයට උකහා ගන්න අසමත් වෙලා තිබෙනවා. මේ ආර්ථික ක්‍රියාදාමය ඇතුලේ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත් කරලා තිබෙනවා. ඒ තත්වය තුළ මේ රටේ පුරවැසියාට මේ ආර්ථිකයෙන් සාධාරණය ඉෂ්ට වෙන්නේනේ නැහැ. ආර්ථික ප්‍රතිලාභ, ඔවුන්ට අහිමියි.

සැප්තැම්බර් 21න් පස්සේ අපට පැවරෙන කාර්යයන් අතර ප්‍රධාන කාර්යයක් තමයි ආර්ථික දේහය ශක්තිමත් කොට අපේ රටේ වැඩ කළ හැකි සියලුම පුරවැසියන් රට ගොඩනැගීමට දායක කර ගැනීම. ඒ වගේම මේ අසාර්ථක, පිරිහුණු දේශපාලන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි. අපේ රටේ නිෂ්පාදනයේ, අධ්‍යාපනයේ, ආර්ථිකයේ නව පරිවර්තනයක් අවශ්‍යයි. මේ සැප්තැම්බර් 21දායින් පසු මේ සමස්ත දේහයම නව පරිවර්තනයකට ලක්කරන එක තමයි අපේ ව්‍යාපාරයේ අභිප්‍රායය. ඔබ කිසිවෙක් තමන් කරන රාජකාරිය ගැන සතුටින් නොවෙයි ඉන්නේ කියන එක පැහැදිලියි. ඒ නිසා මේ පද්ධතියේම ඇති කරන නව ප්‍රතිෂ්ඨාපනයක් අපිට අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බර ගන්නේ සහ අප වෙත පැවරී ඇත්තේ එම කාර්යභාරයයි. මේ කාර්යභාරය ඉටු කිරීමේ මූලික වගකීම ප්‍රධාන අංශ තුනකට පැවරෙනවා. එකක් ඒකට දියුණු සමාජ ව්‍යාපාර තිබෙනවා. අපට ඒ පරිවර්තනය සිදුකර ගන්න එක අසීරු දෙයක් නොවෙයි. එහිදී ඔබට අත්හරින්න බැරි විශාල කාර්යභාරයක් පැවරෙනවා.

සමහරු හිතනවා මේ කඩා වැටීම අවසන් කළ හැක්කේ, රාජ්‍ය සේවය දියකර හැරීමෙන් කියලා. නැහැ. යම් කඩා වැටුණු රාජ්‍යයක් ඉන් ගොඩ ගත හැක්කේ, ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීමෙනුයි. මෑතකදී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් කියනවා සිංගප්පූරුව සතුව පවතින ශක්තීන් දෙකක් පිළිබඳව. එකක් සිංගප්පූරුව සතුව තිබෙන විදෙස් සංචිතය. නැතිනම් ඩොලර් සංචිතය. දෙවැනි කාරණය තමයි ඔවුන් සතුව තිබෙන ශක්තිමත් රාජ්‍ය සේවය. ඉන්දියාවේ බැලුවත් වියට්නාමයේ බැලුවත් ඔවුන් අත්පත්කරගෙන තිබෙන ආර්ථික ශක්තියෙන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට අයත්ව තිබෙනවා. ඒ නිසා මේ පරිවර්තනයේදී අපේ රටේ රාජ්‍ය සේවය විශාල පංගුවක් හැටියට සලකලා තමයි අපි අපේ සැලසුම් සකස් කර තිබෙන්නේ. ඔබ තුළ තිබෙන ශක්‍යතා කෙරෙහි විශ්වාසය තබලා තමයි අපි මේ පරිවර්තන කාර්යයට අත ගහලා තිබෙන්නේ. අපේ රටේ රාජ්‍ය සේවය තුළ කොච්චර නාස්තිය, දූෂණ සිද්ධ වෙනවාද කියලා අපිට වඩා හොඳින් ඔබ දන්නවා. ඒක නතර කරන්න දේශපාලන ව්‍යුහයෙන් විතරක් බැහැ. ඒක නතර කරන්න රාජ්‍ය සේවයත් වංචා දූෂණවලින් තොර පරිවර්තනයකට රාජ්‍ය සේවය ලක්කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබත් සූදානම් වන්න. ඔහේ ගලාගෙන යන මේ පවතින සිස්ටම් එකට තවදුරටත් ඉඩ හැරීමෙන් මේ පරිවර්තනය කරන්න බැහැ. පුරුද්දට කරන්නම් වාලේ රාජකාරි කරලා මේ සමාජ පරිවර්තනය කරන්න බැහැ.

අපේ රාජ්‍ය සේවය ශක්තිමත් ලෙස ඉලක්කයකට මෙහෙය වන්න ඕනෑ. ඉලක්ක සහගතව වැඩ කරන්න ඕනෑ. රාජ්‍ය සේවකයටම දැනෙන්න ඕනෑ තමන් කරන වැඩ කොටස අනුව දැන් මේ රට ක්‍රමයෙන් ඉදිරියට යනවා. ඒ සඳහා තමනුත් දැන් දායක වෙලා ඉන්නවා කියලා. පුරුද්දට යන රාජ්‍ය සේවයක් වෙනුවට නිරන්තරයෙන් අලුත් වන, තමන් අත්පත් කර ගන්නා ජයග්‍රහණවලින් නිරන්තරයෙන් සතුටු වන, රටට ජයග්‍රහණයක් ලබා දුන්නාය කියා ස්වයං තෘප්තියට පත්වන රාජ්‍ය සේවයක්, රාජ්‍ය සේවකයෙක් අපිට අවශ්‍යයි. රාජ්‍ය සේවය ගැන අපේ රටේ පුරවැසියන්ට තිබෙන්නේ තෘප්තිමත් හැඟීමක් නොවෙයි. දැන් සිදුවෙලා තියෙන්නේ රාජ්‍ය සේවයෙන් යම් කටයුත්තක් කර ගැනීමට දන්නා කියන කෙනෙක් සොයා යාමට මහජනයාට සිදුවීම. අනෙක් අතට රාජ්‍ය සේවකයාත් තම කාර්යය පිළිබඳ තෘප්තිමත් නැහැ. තම සුදුසුකම්වලට ගැලපෙන රාජකාරිවල නොවෙයි නිරත වෙන්නේ; උසස්වීම් නැහැ; ඇගයීම් නැහැ; ජීවත් වෙන්න සරිලන විසඳුමක් නැහැ; පහසුකම් නැහැ. අපි ඔබගේ සේවය, ඔබ සතුටු වන තෘප්තිමත් වන සේවයක් බවට රාජ්‍ය සේවය නියත වශයෙන්ම පත්කරනවා.

මිනිස්සු තෘප්තිමත් වෙන්නේ තමන් ලබන වැටුපෙන් හෝ පහසුකම්වලින් පමණක් නොවෙයි. තමන් කරන රාජකාරියෙන් ඵලදායී සේවයක් ඉටුවෙනවා නම්, ඒකෙනුත් ඔහු සතුටු වෙනවා. සමහරු හිතනවා රාජ්‍ය සේවය තෘප්තිමත් කළ හැක්කේ වැටුප් වැඩිකිරීමෙන් විතරක් කියලා. ඒ නිසා සමහරු කියනවා ලබන අවරුද්දේ ඔබගේ වැටුප් රුපියල් 25,000කින් වැඩි කරනවා කියලා. ඇයි දැන් කරන්න පුළුවන්නේ. තමන් රටේ ජනාධිපතිනේ. තැපැල් ඡන්දෙ ළඟ නිසා ඇමක් දාලා බලනවා. අපි හිතන්නේ ඔබ සතුටු වෙන්නේ වැඩි වැටුප්වලින් පමණක් නොවෙයි. රජය ඔබ කෙරහි විශ්වාසය තබලා යම් කාර්යභාරයක් ලබා දෙනවා නම් ඔබ සතුටු වෙනවා. ඔබ ළඟට එන පුරවැසියාට තම කාර්යභාරය නිසි පරිදි ඉටුකළා කියා හිතෙනවා නම් ඔබ සතුටු වෙනවා. ඔබට පැවරී තිබෙන ඉලක්කය සම්පූර්ණ කළා නම් ඔබ සතුටු වෙනවා. අපි දන්නවා අද සංවර්ධන නිලධාරීන් ඉන්නේ විශාල අසතුටකින්. වැටුප් ගැන මෙන්ම මොකක්ද කරන රාජකාරිය කියලා. ඔබට නිසි කාර්යයක් පවරලා නැහැ. අපේ පාලනයක් යටතේ අපි ඔබට ඔබේ සුදුසුකම, හැකියාව මත ඉලක්ක සහගත කාර්යයක් පවරනවා. එය නිසි පරිදි ඉටුකරන්න කියා අපි ඉල්ලා සිටිනවා.

දැන් තියෙන ආර්ථිකය බයිං ඇන්ඩ් සෙලින් ආර්ථිකයක්. නිෂ්පාදන ආර්ථිකයක් නොවෙයි. ඒකේ ඇතුලේ පුරවැසියෙකුට කාර්යභාරයක් නැහැ. රස්සා ඇති වෙන්නේ නැහැ. බිත්තර ගෙන්නන කොට එක බිත්තරයකින් රුපියල් 08ක් කොමිස් ගන්නවා. රෙදි ගෙන්නන කොට කෝටාවකින් ජරාව ගන්නවා. ඒක ඒ ගොල්ලන්ගේ මල්ලට හොඳයි. නමුත් අපි අපේ ශක්‍යතාවන්, විභවතාවන් සැලකිල්ලට අරගෙන සැලසුම් මත අපේ ආර්ථිකය නව මානයකට ගෙනියනවා. 2018 අපේ රටට සංචාරකයන් ලක්ෂ 20ක් ආවා. අපි එය කෙටි කලකින් ලක්ෂ 40කට ගෙනියන්න සැලසුම් හදා තිබෙනවා. අන්න එතකොට රාජ්‍ය සේවකයෝ හැටියට ඔබටත් කාර්යභාරයක් පැවරෙනවා. රාජ්‍යයට පැවරෙන වැඩ කොටසින් කොටසක් තමයි ඒ ඔබට පැවරෙන්නේ. අන්න ඒ සඳහා ඔබ සූදානම් වී සිටින්න.
අපි හැම වෘත්තියකටම අදාළ වෘත්තිය පුහුණු පාඨමාලා රාත්‍රී කාලයේදී ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ඔබටත් කාර්යයක් පැවරෙනවා. ඔබේ ගමේ අක්‍රමවත්, විධිමත් නොවන ශ්‍රම බලකාය විධිමත් ශ්‍රම බලකායක් බවට පත් කරන්න ඕනෑ. ඒ සඳහා ඔබේ ගමේ ඔබටත් කාර්යභාරයක් පැවරෙනවා. අපි ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තිබෙන ශක්‍යතා ගණන් බලලා ඒ ඒ දිස්ත්‍රිකය තුළ කුමන නිෂ්පාදන කාර්යයක් කළ හැකිදැයි බලලා ඒවා පටන් ගන්න සැලසුම් හදා තිබෙනවා. ඒ වගේ දිස්ත්‍රික්ක ඉලක්ක කර ගත්ත සංවර්ධන වැඩසටහන් අපි සැලසුම් කර තිබෙනවා. එහිදීත් ඔබට කාර්යභාරයක් පැවරෙනවා. අපි අපනයන ගම්මාන 1000ක් පිහිටු වීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ඔබ ව්‍යාපෘති නිලධාරියෙක් හැටියට වගකීම් ගෙන කටයුතු කළ යුතු වෙනවා. අපි සැලසුම් කර තිබෙනවා එක දරුවකුවත් අවම සාමාන්‍ය පෙළ විභාගයට වත් පෙනී නොසිට පාසලෙන් එළියට වැටෙන්න දෙන්නේ නැති ව්‍යාපෘතියක්. එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ වැඩසටහනක්. ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම් සහගත කාර්යභාරයක්ද ඔබට පැවරෙනවා. අපේ ආණ්ඩුව රටට ඉලක්ක හදනවා. ඔබ වැඩ කරනවා. ඔබ කරන රාජකාරිය ගෞරවයත්, තෘප්තිමත්භාවයකින්, ඉලක්ක සපුරාලමින් වර්ධනය වන එකක් බවට අපේ පාලනයක් යටතේ අපි ඉහළට ඔසවා තබනවා.

අපේ සටන හොඳ රැකියාවක් වගේම ලස්සන ජීවිතයක් වෙනුවෙන්
සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි

මේ වගේ සමුළුවකට එනකොට රජය පිළිගත් ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනයක් තිබෙනවා. එනම් සහභාගි වන සාමාජිකයන්ට දුම්රිය බලපත්‍ර වගේ පහසුකම් දෙන්න. නමුත් අපි මේ සමුළුව සඳහා ආයතන සංග්‍රහයෙන් අපිට හිමිවෙලා තිබෙන ප්‍රතිපාදනය පාවිච්චි කළේ නැහැ. ඒ නිසා මේ පැමිණ සිටින සහොදර සහෝදරියන් ස්වාමීන් වහන්සේලා තමන්ට හිමි රාජකාරි නිවාඩු පවා ලබා නොගනිමින් තම පෞද්ගලික නිවාඩුවලින් අවස්ථාව ලබාගෙන තමයි මේ ජාතික සමුළුවට සහභාගි වෙන්නේ. එවැනි කැපකිරීමක් කරපු ඔබ සියලු දෙනාටම මාගේ ගෞරවය ප්‍රණාමය පුදකර සිටිනවා. මේ ලෙඩ වී තිබෙන මේ රටේ රාජ්‍ය සේවාව නිරෝගීමත් සේවාවක් බවට පත් කළ යුතුයි. මේ සමුළුව අපේ සහෝදරවරු එන එක වළක්වන්න සමහර අය විවිධ බාධා එල්ල කළා. සමහරු කීවා මේ සමුළුවට යන එක රැකියාවට ගැටලුවක් වෙන්න පුළුවන් කියලා. ඒවා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න අපි වැඩකරන්නෙත් නැහැ.

රාජ්‍ය සේවාවේත්, පළාත් රාජ්‍ය සේවාවේත් සංවර්ධන නිලධාරීන් ඇතුළු ආශ්‍රිත සේවාවේ නිලධාරීන් තමයි මෙතන ඉන්නේ. මේ සේවාව ආරම්භ වන්නේ 1999දී. මේ සේවාවේ ලක්ෂයකට අධික නිලධාරීන් පිරිසක් රාජ්‍ය සේවාවේ ඉන්නවා. රාජ්‍ය සේවාවන් අතර ඉතා වැඩියෙන්ම දුෂ්කරතාවලට මුහුණ දී සිටින පිරිසක් තමයි මේ සේවාවේ ඉන්නේ. පාලකයන්ගේ විවිධ අසාධාරණකම් ඉදිරියේ කප්පාදු කිරීම් ඉදිරියේ, බලපෑම්වලින් නොසැලී ඒවාට අභියෝග කරන වෘත්තිය සමිති ව්‍යාපාරයක් තමයි අපි සතුව තිබෙන්නේ. රාජ්‍ය සේවයට ආ පළමු පැයේ සිටම අපට තිබුණේ සටන් අරගල. 2005දී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප අහිමි කර තිබුණා. ඔබව සේවයට බඳවා ගැනීමේදීත් බරපතළ කොන්දේසි දමා තිබුණා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත්වීම් ලිපි ලබාදෙද්දීත්, බරපතළ කොන්දේසි ඔබගේ පත්වීම් ලිපිය තුළ අඩංගු කර තිබුණා. නමුත් අපේ වෘත්තිය සමිති ව්‍යාපාරය එය බාරගන්න සූදානම් වුණේ නැහැ. වසර තුනකින් සංවර්ධන නිලධාරීන්ගේ සේවය නතර කරන්න රාජපක්ෂ ආණ්ඩුව දමා තිබූ කොන්දේසියට විරුද්ධව අපි අඛණ්ඩව සටන් කළා. 2015 දී එම කොන්දේසි ඉවත් කර ගන්න අපි සමත් වුණා. අපිට රැකියාවක් ගන්නත් සටන් කරන්න වෙලා වගේම ගත්තට පස්සේ එහි අයිතිවාසිකම් වෙනුවෙනුත් සටන් කරන්න සිද්ධ වෙලා

අපිට උපාධියක් තිබුණට ජීවිතයක් නැහැ. මේ සමාජය ඇතුළේ අපි අත්විඳින කටුක යථාර්ථය එයයි. අපි 2001 සිටම සෑම උපාධිධාරියෙකුටම රැකියාවක් ලබා ගැනමේ අරගලයක හිටපු වෘත්තිය සමිති ව්‍යාපාරයක්. මේ රටේ උපාධිධාරීන්ගේ අයිතීන් වෙනුවෙන් කරන සටන අප අත්හරින්නේ නැහැ. 2001දී අපේ අයිතීන් වෙනුවෙන් අපි අරගල කරන විට රනිල් වික්‍රමසිංහලා අපිට පහර දුන්නා; අත්අඩංගුවට ගත්තා; සිරගත කළා. එහෙම තමයි රනිල් මේ රටේ උපාධිධාරීන්ට සැලකුවේ. ඒ ජාතියේ ආණ්ඩු තමයි අපි පසුකරගෙන ආවේ. අපි ඔබට එකක් කියනවා මේ ගෙවුණු දශක දෙකකටත් වැඩිකාලය තුළ අපි සටන් කළේ අපිට හොඳ රැකියාවක් වගේම ලස්සන ජීවිතයක් වෙනුවෙන්. වෘත්තීය ගරුත්වයක් ඇතිව රැකියාව කරලා ජනතාවට හොඳ සේවයක් සපයලා ගෞරවාන්විතය සේවයෙන් විශ්‍රාම ගන්න. නමුත් මෙතෙක් රට පාලනය කළ පාලකයන් ඊට ඉඩ නොදුන් බව ඔබට දැන් හොඳින් පැහැදිලියි.

මම අපේ සහෝදර සහෝදරියන්ගෙන්, ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. අපේ රටේ පාලකයන්ට උගතුන්, බුද්ධිමතුන්ගෙන් වැඩක් නැහැ. අපෙන් ඵලදායී සේවාවක් ගන්න ඔවුන්ට වැඩපිළිවෙළක් නැහැ. මේ අසමත් පාලකයන් සහිත පාලනය දිගටම පවත්වාගෙන යනවාද නැත්නම් එය වෙනස් කරනවාද කියන ප්‍රශ්නය අපි හමුවේ තිබෙනවා. ඔබත් මමත් අවුරුදු ගණනාවක් පුරා අපේ වෘත්තියට අදාළ විවිධ ඉල්ලීම් දිනා ගන්න සටන් කළා. ඒත් පලක් නැති බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසා අද අපි ඉදිරියේ අලුත් සටනක් තිබෙනවා. එය තමයි මේ පාලන ක්‍රමයත් පාලකයනුත් ඉතිහාසයෙන් පළවා හැර රටට නව පාලනයක්, නව මාවතක් විවෘත කර ගැනීමේ සටන. අන්න ඒ සඳහා මේ ජනාධිපතිවරණයේදී ඉදිරියට එන්න. ඔබේ වගකීම ඉටුකරන්න. ජයග්‍රහණයේ මාවතට පිවිසෙන්න කියා අප ඉල්ලා සිටිනවා.

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන ආණ්ඩුවක් යටතේ නැවත හමුවෙමු
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත

සැප්තැම්බර් 21 පහුවෙලා අපි අලුත් ව්‍යවස්ථාවක් යටතේ වැඩ කරන ජනතාවගේ පාලනයක් යටතේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන ආණ්ඩුවක් යටතේ අපි නැවත සමුළුවක් තියමු. අපි ඔබ, මහපාරේ ගොඩක් සටන් කළා. උද්ඝෝෂණ වැඩවර්ජන ගොඩක් කළා. 21 වැනිදාට තිබෙනවා අපිට ලොකු සටනක්. ඒ සටන් භූමියේ අපි දිනන සටන කරමු. සැප්තැම්බර් 21 දින සටන් භූමියේ අපේ ජයග්‍රහණය නිසැක ලෙසම ස්ථිර වෙලා තිබෙනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් මෙතැන් සිට වැඩ කරමු. මාලිමාව දිනවමු. රට දිනවමු. එදාට අපි ඔබ සියලු දෙනාම දිනුම්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *