Latestදේශීය

උද්දික සිද්ධිය – සංජීව මහනාමගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සැකකරුවකු ලෙස නම් කර ඇත්තේ නීතිය පිළිබඳ අමාත්‍යවරයාගේ පොලිස්පතිවරයාගේ සහ… ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගෙත් බලපෑම් නිසා බවත් එම කරුණු සැලකිල්ලට ගෙන හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මෙම සිද්ධියට අදාළ නඩුවෙන් නිදහස් කර මුදාහරින ලෙස ඇතුළුව නීතිඥවරු ඉදිරිපත් කළ ඉල්ලීම් 6ක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය ඊයේ (2) ප්‍රතික්ෂේප කළාය. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විධිමත්ව විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ උපදෙස් මත නීතිඥ ඉසුරි උදානි මහත්මියගේ ඉල්ලීමකට අනුව මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදීය. මෙම මෝසම මුලින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කළ අතර එය සලකා බැලීම සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය වෙත යොමු කිරීමට නියෝග කෙරිණ.

මෙහිදි සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා පැවසුවේ නීතිය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේත්, පොලිස්පතිවරයාගේත්, පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් පිරිසකගේත් බලපෑම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයා දඩයම් කිරීමට උත්සහ දරන බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධ බවට කිසිදු විමර්ශනයකදී කරුණු අනාවරණ වී නොමැති පසුබිමක ඔහු මෙම වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවකු ලෙස නම් කළේ කේසේ දැයි? නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.

විරන්ජිත් තාඹුගල නමැත්තකුගෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුපියල් කෝටි 30 කට අධික කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියකට අදාළ නඩුවක් අධිකරණයේ පවතින බවත් එම කප්පම් ඉල්ලීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට තම සේවාදායකයාද (හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම) සහාය දක්වා ඇති බවත් ඒ හේතුව මත නීතිය භාර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පළි ගනිමින් සිටින බවද නීතිඥවරයා ප්‍රකාශ කළේය. මෙම වෙඩි තැබීම තුළින් තමා ඝාතනය කිරීමට උත්සහ කළ බවට සහ තම මෝටර් රථයට හානි සිදු වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ස්වකීය පැමිණිල්ල මගින් ප්‍රකාශ කොට නැති බවත් පැවසූ නීතිඥ ජයමාන්න මහතා, එවැනි පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනී මැරුම් සහ අනර්ථය සිදු කිරීම සහ ආධාර අනුබලදීමේ චෝදනා එල්ල කරන්නේ කුමණ පදනමක් මතද යන්න ප්‍රශ්න කරන බවත් සිය සේවාදායකයාගේ රාජකාරි (සංජීව මහනාම) පිස්තෝලයෙන් වෙඩි උන්ඩ පිටවී නැති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවත් කියා සිටියේය.

මෙම සිද්ධියේ මුල සිටිම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වරින් වර පරස්පර අසත්‍ය කරුණු ඇතුළත් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එවැනි වැඩිදුර වාර්තා ලෝකයේ කිසිදු රටක දක්නට නැති බවත් තම සේවාදායකයාට අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් අවධාරණය කළ නීතිඥවරයා, මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අධිකරණය හමුමේ පවතින නඩුවෙන් සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මුදා හරින ලෙසත් මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර සුදුසු වෙනත් විමර්ශන කණ්ඩායමකට පවරන ලෙසත් අයැද සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසත්ය.

පැය දෙකකට අධික කාලයක් දෙපාර්ශ්වය දැක්වූ කරුණුවලින් අනතුරුව සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා කළ ඉල්ලීම් හයම අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.

එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් විනාඩි 45ක පමණ කාලයක් දීර්ඝව සිය නියෝගය විග්‍රහ කළ අතිරේක ම‍ෙහ්ස්ත්‍රාත්වරිය සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට දැනුම් දුන්නේ මෙම ඉල්ලීම් ඉටු කිරීමට තම අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවයි. සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාමගේ ඉල්ලීම් තම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සහ සිය මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අවශ්‍ය නම් සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතිය හැකි බව ද අතිරේක මහේස්ත්‍රාත්වරිය කීවාය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එම කොට්ඨාසයේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකාර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් ඉසුරි ලියනගේ, නුවන් ජයවර්ධන සහ නවීන් ජයමාන්න යන මහත්ම මහත්මීහූ සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා පෙනී සිටියේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *