Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාව නැති ආසියානු රග්බි තරගාවලිය කොරියාවේදී

පිට පිට දෙවැනි වරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි නොවන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ලබන 7 වැනිදා දකුණු කොරියාවේදී ඇරඹේ.

අදියර තුනකින් සමන්විත මේ තරගාවලියේ දෙවැනි අදියර මේ මස 21 සහ 22 චීනයේදිත්, අවසන් අදියර ලබන නොවැම්බර් මස 23 සහ 24 තායිලන්තයේදීත් පැවත්වීමට නියමිතය. ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් 8ක් තරග වදින ආසියානු තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට විසිවූයේ නිලධාරිවාදය හා දේශපාලන මැදිහත්වීම මත ජාත්‍යන්තර සාමාජිකත්වය අත්හිටුවීම හේතුවෙනි. මීට පෙර අවසන් වරට 2022 ආසියානු තරගාවලියේ දෙවැනි හා තුන්වැනි අදියරේ තරගාවලියට පමණක් ශ්‍රී ලංකාවට තරග කිරීමට අවස්ථාව උදා වූයේ ද පැවති තත්ත්වය මත ජාතික ඔලිම්පික් කමිටුවේ ධජය යටතේය. කලක් ආසියාවේ සත් සාමාජික රග්බි පිටියේ තුන්වැනි ස්ථානය අත්කර ගෙන සිටි ශ්‍රී ලංකාවට යළි ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට එක්වීමට නම් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවී තිබේ.

ඒ අනුව ලබන ඔක්තෝබර් මස 5 සහ 6 දෙදින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික කුසලාන තරගාවලියට සහභාගි වී වසර 2025 දී ආසියානු තරග බිමට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබී තිබුණ ද එය තවමත් තීරණය වී නැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය වසරේ මැද භාගයේදී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රවීණ පුහුණුකරුවකු වන සුදත් සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ ජාතික රග්බි තේරීම් කමිටුව මෑතකදී ක්‍රීඩකයන් 40 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කළ අතර, සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන්නේදැයි යන්න තීරණය කිරීමට මේ වන විට ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට ගොස් සිටින ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි පැමිණෙනතුරු බලා සිටීමට සිදුවී ඇතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *