Latestදේශීය

ජනාධිපති මාධ්‍ය අංශයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය බරපතල වරදක් – මැතිවරණ කොමිසම

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ආරම්භක දිනය වූ ඊයේ (04) ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු බෙදාහැර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු සත්‍යාපනය පිළිබඳව නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සඳුන් අරෝෂ ප්‍රනාන්දු නැමැත්තෙකු මෙසේ අසත්‍ය තොරතුරු බෙදාහැර ඇති බව මැතිවරණ කොමිසමට හා නිරීක්ෂණ සංවිධානවලට පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වේ.

නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙරවරු 11:00 වනවිට පැවැති අගය යැයි දක්වමින් ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමක් ලෙසින් ෆේස්බුක් පෝස්ටුවක් නිර්මාණය කර තිබූ බවත් එහි රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාට ඡන්ද භාවිත කළ ප්‍රතිශත බවට ව්‍යාජ තොරතුරු දක්වා තිබී ඇති බවත් එම පැමිණිලිවල සඳහන්ව තිබී ඇත.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීමක්වත් සිදු නොකළ පසුබිමක මෙසේ ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිශතය එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ආකාරය බවට හැඟී යන සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම බරපතළ වරදක් යැයි මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස් (ආරාවුල් නිරාකරණ) පියුමි ආටිගල පවසයි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යභාරය පැවැරී ඇත්තේ, මැතිවරණ කොමිසමට යැයිද ඡන්ද ගණන් නොකළ පසුබිමක මෙවැනි තොරතුරක් බෙදාහැරීම මුළුමනින්ම ජනතාව නොමග යැවීමක් යැයිද ඇය අවධාරණය කරයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත බව දක්වමින් ෆේස්බුක්හි පළ කළ පෝස්ටු ඉවත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළේ යැයිද ඒ අනුව මෙම වරද සම්බන්ධයෙන් ගත යුතු පියවර මැතිවරණ කොමිසම තීන්දු කරන්නේ යැයිද එහි කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා පවසයි.

තැපැල් ඡන්ද ගණන් කෙරෙන්නේ ලබන 21 වන දා වන අතර එසේ තිබියදී ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශත යැයි හැඟෙන අයුරින් තොරතුරු බෙදාහරින්නේ කෙසේදැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රශ්න කරයි.

මෙමඟින් තනිකරම කෙරෙන්නේ තමන්ගේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම යැයිද සමාජ මාධ්‍යකරුවන්ට මැතිවරණ නීති ගැන පැහැදිලි අවබෝධයක් නැතැයිද රත්නායක මහතා පවසයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *