Latestදේශීය

දැන් මිනිස්සු සජබෙට කියන්නේ AKD ඔක්සිජන් කියලා – රනිල් වික්‍රමසිංහ

හමුදාවේ වියදම් අඩු කරන බව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මතුගම ජනරැලියේදී පසුගිය දා (05 දා) පැවසීය. මොවුන් උත්සාහ කරන්නේ හමුදාව කප්පාදු කරන්න දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද කීය.

මතුගම ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය. “මීට වසර දෙකකට පෙර මේ රටේ මැතිවරණයක් තියන්න පුළුවන්ද කියා ඇසුවා නම් පිළිතුර බැහැ යන්නයි. ආර්ථික ස්ථාවර බවක් ඇති කරන්න සමත් කිසිවකුත් එදා සිටියේ නැහැ. ආර්ථික ස්ථාවර බවක් ඇතිකර අප දැන් ඡන්දය පවත්වනවා. ජනතාවගේ වරම අරගෙන නැවත රට බංකොලොත් නොවන වැඩසටහනකට යෑම සඳහා අප ජනතා සහය ඉල්ලනවා.

අප වසර දෙකක් තුළ වැටුණු තැන සිට රට ගොඩ ගත්තා. ඒ ගමන අවසන් කර නැහැ. තව වසර දෙක තුනක් ඒ සඳහා කාලය අවශ්‍යයි. අපගේ වැඩ කටයුතු අගය කරනවා නම් ඒ සඳහා වරමක් ගන්නට මා මෙහි පැමිණ සිටිනවා. රටේ දළ දේශීය නිෂ්පාදනය මා භාර ගනිද්දී සියයට 15කින් වැටී තිබුණා. රුපියල 370ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

උද්ධමනය සියයට තිහකට ගියා. ජීවත් වුණේ කොහොමද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. සම්පූර්ණයෙන්ම ආර්ථිකය නතර වුණා. පොහොර තිබුණේ නැහැ. රටට බලාපොරොත්තුවක් නොමැති අවස්ථාවේදී කෙසේ හෝ රුපියල ශක්තිමත් කොට බඩු මිල පාලනය කරගෙන අප ඉදිරියට ආවා. අද ආර්ථිකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සෙසු නිෂ්පාදන, සේවා අංශ, සංචාරක අංශ සියල්ල ක්‍රියාත්මක වෙනවා. මා අගමැති ධුරය මෙන්ම ජනාධිපති ධුරය භාරගත්තේ තනි මන්ත්‍රීවරයෙක් ලෙසයි. පොහොට්ටුවෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී කණ්ඩායමක් පැමිණ සහාය දුන්නා. මේ රටේ ජනතාව වරම දුන්නේ ගෝඨාභය රාජපක්ෂට. හදිසි අවස්ථාවක භාරගත් කාර්යය සම්පූර්ණ කිරීමට තව වසර දෙක තුනක් අවශ්‍ය බව මා තේරුම් ගත්තා.

මගේ අනාගතයේ ප්‍රශ්නයක් නැහැ වාර්තා සියල්ල හදාගෙන ඉවරයි - රනිල් මතුගමදී කියයි

ඔබේ වරම ගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. ඔබේ අනාගතය වෙනුවෙන් මා මෙහි පැමිණ සිටිනවා. මට ප්‍රශ්නයක් නෑ. මා සියලු තනතුරු ලබාගෙන තිබෙන්නේ. මගේ අනාගතයේ ප්‍රශ්නයක් නැහැ. වාර්තා සියල්ල හදාගෙන ඉවරයි. මා මෙවර එන්නේ ඔබේ අනාගතය වෙනුවෙන්. ඔබේ සහයෝගය ඒ සඳහා අවශ්‍යයි. අප රට බංකොලොත් භාවයෙන් එළියට ගන්නවා පමණක් නොව ආර්ථිකය ස්ථාවර කළ යුතුව තිබෙනවා. හැමදාම අපට ආනයන ආර්ථිකයක් වෙන්න බෑ. අපනයන ආර්ථිකයකට යා යුතුයි. ණය ගෙවීමට මා ක්‍රමවේදයක් හදා තිබෙනවා. ණය ගෙවීමට 2042 දක්වා කල්ලබා දී තිබෙනවා. ඩොලර් බිලියන 12ක පමණ සහන දී තිබෙනවා. අප අපනයන ආර්ථිකයක් වුණේ නැතිනම් ප්‍රතිඵලයක් නැහැ. එහෙම වුණොත් අපට නැවත පරණ තත්ත්වයට එන්න වෙනවා. ඔබ ජීවතුන් අතර නැති වුණත් ඔබේ දරුවන්ට දුක් විඳින්න ඉඩ දෙන්න බෑ. අප මේ රටේ වෙනසක් කර ඉදිරියට යමු. අනාගත දියුණුව ඇති කිරීම සඳහා ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉදිරිපත් කර තිබෙනවා. ජීවන බර සැහැල්ලු කිරීම මෙහි එක පරමාර්ථයක්. පෙට්‍රල්, ගෑස්, බිත්තර, කුකුල් මස් මිල අද අඩුවී තිබෙනවා. සියයට 10-40% අතර පරතරයකින් එම මිල ගණන් අඩුවී තිබෙනවා. එය ප්‍රමාණවත් නැහැ. අපට තවත් ජීවන බර තිබෙනවා. ඒ බරත් නැතිකර දැමිය යුතුයි. ඊළඟ වසර තුන හතරේ කළ යුත්තේ එයයි. එවිට වැඩිපුර මුදල් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනවා. එය කළ හැක්කේ රුපියල ශක්තිමත් කිරීමෙන්. බඩු මිලත් ස්ථාවර වී තිබෙනවා.

බදු අඩු කරන බව සමහරුන් කියනවා. රට මේ තත්ත්වයට වැටුණේ බදු අඩු කරලා තමයි. ගෝඨාභය ආපු ගමන්ම බඩු අඩු කළා. වසර දෙකක් යන්නට පෙර ආදායම නැතිවුණා. අපි ආදායම තියාගෙන රුපියල ශක්ති කරමු. දැන් අපිට මුදල් අච්චු ගහන්න බෑ. උවමනා ආදායම් රට ඇතුළෙන් හොයාගන්න අපට අවශ්‍ය වුණා. අමාරුවෙන් හෝ අපට වැට් වැඩි කරන්න සිදුවුණා. එය අමාරු බව මා දන්නවා. එතැනට ගියේ නැතිනම් ගොඩ එන්නේ නැහැ.

කතරගම කරනවා වගේ අපට ගින්දර මතින් යන්නට සිදු වෙනවා. එළියට එන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ජීවන බර සැහැල්ලු කරන්න, රුපියල ශක්තිමත් කරන්න, අපනයනය වැඩි කරන්න අප කටයුතු කරනවා. එය පළවෙනි පියවරයි.

රැකියා බිහිකිරීම සහ අපනයන ආර්ථිකයකට පරිවර්තනය කිරීමත්, අස්වැසුම සහ උරුමය වැඩසටහන් ආරක්ෂා කිරීමටත් අප කටයුතු කරනවා. ආදායම වැඩිවෙනවා නම් දළ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා නම් බදු බර කෙමෙන් අඩු කරන්න අපට පුළුවන්. එමෙන්ම බදු දැල දෙගුණ තෙගුණ කළ යුතුයි. බදු නොගෙවන අය අල්ලා ගන්නවා. එවිට අපට රාජ්‍ය ආදායම වැඩිකර ගන්න පුළුවන්. එවිට ඔබට සැහැල්ලුවක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. මේ රටේ ආර්ථිකය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. තවත් ආනයන ආර්ථිකයක් ගෙන යන්න බැහැ. අප අපනයන ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. පළමුවෙන්ම කරන්නේ කෘෂිකර්ම නවීකරණයයි. ලෝක ජනගහනය 2050 වන විට බිලියන දෙකකින් වැඩි වෙනවා. එයින් මිලියන 20කට ආහාර සපයන්න අපට පුළුවන් වුණොත් ප්‍රමාණවත් ආදායමක් ගන්න පුළුවන්. ඒ සඳහා නිෂ්පාදනය වැඩි කළ යුතුයි. පළමුවෙන්ම වී වගාව හෙක්ටයාරයකට මෙටි්‍රක් ටොන් අටක් ලබාගත යුතුව තිබෙනවා. රැකියා නවීකරණය මගින් අලුත් ආදායම් උදාකරන මාර්ග ඇති වෙනවා. අප නිෂ්පාදන මිලදී ගැනීම සඳහා නව සමාගම් ඇති කරනවා. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම කෘෂි නිෂ්පාදන වෙළඳපොළක් ඇති කිරීමට කටයුතු කරනවා. එයින් කෘෂි නිෂ්පාදන හුවමාරු කරගන්න පුළුවන්. එමෙන්ම ශීතාගාර ගබඩා ඇති කිරීමටත්, නවීන ලොරි ගෙන ඒමට සහ ආහාර ප්‍රවාහනය සඳහා නව ක්‍රමවේදයක් ඇති කරනවා.

පස්දුන් කෝරළේ අතීතයේ කළේ කුරුඳු වගා කිරීමයි. අපට නැවත ඒ කුරුඳු වගාවට යොමුවිය හැකියි. මෙහි රබර් වැව්වා. කුරුඳු වැව්වා. පස්දුන් කෝරළේ තව මොනවද කරන්න බැරි? අප මෙහි කෘෂි ආර්ථිකයක්, අපනයන ආර්ථිකයක් ඇති කරමු. සංචාරකයන් ලක්ෂ 25 සිට 50 දක්වා වැඩි කරන්නට අප බලාපොරොත්තු වෙනවා. දැනට එක සංචාරකයකුගෙන් අප හම්බ කරන්නේ ඩොලර් එකසිය පනහයි. එය ප්‍රමාණවත් නැහැ. එක් සංචාරකයකුගෙන් ඩොලර් 400ක් ඉපැයීමට කළ යුතුව තිබෙනවා. මෙහි රිච්මන් කාසල් කේන්ද්‍ර කරගෙන සංචාරක ආකර්ෂණය ගොඩ නගන්න පුළුවන්. කර්මාන්ත නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අලුත් ආයෝජන කලාප ගණනාවක් ආරම්භ කරනවා. ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ මේ හැම දෙයක්ම සඳහන් නිසා මා අලුතෙන් කතා කරන්නේ නැහැ. අප ඩිජිටල් ආර්ථිකයක් ඇති ඇති කරනවා. සූර්ය බල ශක්තියෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ සියල්ලෙන්ම බලන්නේ අලුත් රැකියා බිහි කිරීමයි.

මෙහි තරුණ තරුණියන් මට ලිපියක් දුන්නා. ඔවුන්ගේ ඉල්ලීම් ගැන ප්‍රශ්නයක් නැහැ. මේ සියලු ඉල්ලීම්වලට මා එකඟයි. මතුගම සෙන්ට්‍රල් එකෙන් පටන් ගෙන සියලු පාසල් දියුණු කරන්න අප කටයුතු කරනවා. වසර හතරක් තිස්සේ රැකියා දෙන්න බැරි වුණා. එන වසරේදී රැකියා ලක්ෂයක් ලබා දෙනවා. ආණ්ඩුවෙන් මෙන්ම පෞද්ගලික අංශයෙන් ඒ රැකියා ලබා දෙනවා. පෞද්ගලික අංශයේ රැකියා දීමේදී වසරක පඩි ගෙවන්න මුදල් දෙනවා. ඊට පසුව සේවය ස්ථිර කළ යුතුයි. අනතුරුව වසරක් යනතුරු ස්වයං රැකියා කරන අයටත් මුදල් ලබා දෙනවා. කෘෂි නවීකරණය මෙන්ම ඩිජිටල් ආර්ථිකයට ගමන් කිරීමට සැලසුම් අපට තිබෙනවා. උරුමය ඇති කළේ ඔබට ඉඩම් අයිතිය ලබාදීමටයි. එමෙන්ම වතුකරයටත් අප ගම්මාන ලබා දෙනවා. රටේ ආර්ථිකය දියුණු කරන්නට බලාපොරොත්තු වන්නේ මේ අයුරින්. “ටීම් එක” කවුදැයි මගෙන් අහනවා. ජනාධිපති ඡන්ද තියන්නේ ටීම් තෝරන්න නෙමෙයි. ජනාධිපති තෝරන්න. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද තෝරද්දි වෙන අය දිහා බැලුවෙ නෑ. මෛත්‍රිපාල සිරිසේන ගේනකොට අපි දිහා බැලුවේ කවුද? හොඳ කවුද? ජනාධිපති වෙන්න සුදුසු පුද්ගලයා කවුද කියා බලන්න. වෙනත් දේවල් බැලිය යුතු නැහැ. ලංකාවේ ටීම් ගැන කතා කරන්නේ මොනවටද? ජනාධිපති ලෙස වැඩ කරන්න දක්ෂකමක් තිබිය යුතුයි. සජිත් ප්‍රේමදාසට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියා කියනවා. මා ඒ ගැන කතා කරන්නේ නැහැ. මම ටීම් එකක් තෝරන්නේ නැහැ. මම හොඳනම් පත්කර ගන්න. එපමණයි. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවෙන් ටීම් එක තේරෙනවා. ඒවා අපට තීරණය කරන්න බැහැ. බහුතරයක සහයෝගය තියෙන කෙනා අගමැති කළ යුතුව තිබෙනවා. එයා එක්ක කතා කරගෙන තමයි ටීම් එක තේරිය යුත්තේ. දූෂණයට විරුද්ධව අලුත් නීති ගේන නිසා දූෂණය කළොත් එයට එරෙහිව මා ක්‍රියා කරනවා. මා මුදල් රාජ්‍ය ඇමැතිවරුන් ලෙස රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ පත් කළා. ඔවුන් හොඳට වැඩ කළේ නැද්ද? ඔබ ටීම් එක දෙන්න. මම ඒකෙන් වැඩ කරන්නම්. මම ඇවිත් හිටපු ටීම් එක සමඟ වැඩකළා. ඊට කලින් මා වැඩ කළේ සජබෙ ඉන්න අය එක්ක. නායකයා කියන්නේ ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් අයටයි.

මගේ අනාගතයේ ප්‍රශ්නයක් නැහැ වාර්තා සියල්ල හදාගෙන ඉවරයි - රනිල් මතුගමදී කියයි

සජබෙට තියෙන ටීම් එක මොකක්ද? ඒ අයට එක මැතිවරණ ප්‍රකාශයක් ගේන්න බැරි වුණා. සැමට ජයක් කියලා එකක් තියෙනවා. ‘Blu print 03’ කියලා තව එකක් තියෙනවා. එක පැත්තක ජී. එල්. සහ නාලක ගොඩහේවා ඉන්නවා. අනෙක් පැත්තේ හර්ෂ එරාන් සහ කබීර් ඉන්නවා.හරියට කොහෙද යන්නේ කියලවත් දන්නේ නැහැ.

හර්ෂලාගේ පොතේ උසස් ආර්ථිකයක් ඇති කරන බව කියනවා. සැමට ජයක් පොතේ සමාජ ආර්ථිකයක් ඇති කරන බව කියනවා. සතුටු ආර්ථිකයක් ඇති කරන බවත් කියනවා. සතුටු ආර්ථිකයක් තියෙන්නේ භූතානයේ. ඒක දුප්පත් රටක්. අපි එතෙන්ට යන්න ඕන නෑ.

පෝර කිලෝ පනහක මල්ලක් පන්දාහට දෙන බව ඔවුන් එක ප්‍රතිපත්ති ප්‍රකාශයකින් කියනවා. අනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එම සහනයක් ගැන කියන්නේ නැහැ. මිල්ලනිය ආයෝජන කලාප දියුණු කරන බව එක ප්‍රතිපත්ති ප්‍රකාශයක තිබෙනවා. අනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ එවැනි දෙයක් නැහැ. හමුදා වියදම් අඩු කරන බව සජබෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා. ඒක ගැන අපට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. එක මවකගේ කුසේ එකවර දරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මාස නමයෙන් ඉපදුනා. පියා ජී.එල්. සහ නාලක ගොඩහේවා. අනෙක් දරුවා මාස දහයෙන් ඉපදුණා. එහි පියා එරාන්, හර්ෂ සහ කබීර්.

මේ විපක්ෂ නායක කරන්නේ කුමක්ද? හැම වෙලාවෙම ආණ්ඩු පක්ෂයේ පහ විපක්ෂ නායකයන් අතර තරඟය තිබෙනවා.

මමත් විපක්ෂ නායක ලෙස ඉන්නකොට වෙන කාටවත් එන්න දුන්නේ නෑ. මම තරඟ කළා. සජිත් ප්‍රේමදාස කරලා තියෙන්නේ මොකක්ද? එයා අනුර කුමාරට නැඟලා එන්න ඉඩ දුන්නා. එයා නැගලා ආවා. සජිත්ට බැහැ අනුර දිසානායක පරද්දන්න. එක්සත් ජාතික පක්ෂයේ අයත් මෙතන ඉන්නවා. සජිත්ට මේක කරන්න බැහැ. ඔහු යූඑන්පිය නියෝජනය කරන්නේ නැහැ. එජාපය නියෝජනය කරන්නේ මමයි. සජිත්ට ඡන්දෙ දීලා වැඩක් නැහැ. සජිත්ට ඡන්දය දුන්නොත් එය අනුර කුමාරට ඔක්සිජන් දීමක්.

දැන් මිනිස්සු සජබෙට කියන්නේ ඒ.කේ.ඩී ඔක්සිජන් කියලා.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *